නෝනාගේ නුවණින් අලි අමාරුවෙන් බේරෙයි


දුර සිටින බිරිඳගේ උත්තරෙන් සැමියා සේවය කරන ආයතනයේ දේපළ  සොරුන්ගෙන් බේරාගත්  පුවතක් හස්තිශෛලපුරවරයෙන් අසන්නට ලැබුණි
විවාහක බිරිඳ තම දරුවන් සමඟ  වාසය කරන්නේ ගම්බද පෙදෙසකය. සැමියා සේවය කරන්නේ උක්තපුරවර සීමාවේය.
සති අන්තයේ නිවාඩුවට ගෙදර එන  සැමියා අනිත් දිනවල තම සේවා ආයතනය තුළ  රැඳි  සිටින්නේය. ඒ ඔහුගේ සේවාව  පෞද්ගලික  ආරක්ෂක  අංශයක නිසාය.
කිසිදු විටෙක ආයතනයේ කිසිවක් නැති නොවන්නට ආරක්ෂක  අංශය කටයුතු කළේය.
එහෙත් එන්න එන්නම කුඩුවලට ඇබ්බැහි වූ ජාවාරම්කරුවෝ ඒ අවට බුරුතු පිටින් සැරි සරති.
ඔවුන්ගෙන් ආයතනය සතු දේපොළ  රැක ගැනීම අසීරු  කරුණකි.


කෙසේ හෝ දිනයක කුඩ්ඩෝ ආයතනයට පිටුපස වැට අතරින්  ඇතුල් වූහ. අවට  ගොඩ ගසා තිබුණු  අබලි ද්‍රව්‍ය  කීපයක් රැගෙන පලා ගොසිනි.
‘‘අබලි ගත්තා කියන්නේ අනිත් වටිනා කියන දේවලට ද අත තියෙනවා. ඒ හින්දා  විමසිල්ලෙන්  සිටින්න”‍ ලොක්කා ආරක්ෂක අංශයට  උපදෙස් දුන්නේය.
ඒ අනුව සේවාවේ සිටින සියලු‍ දෙනාද විමසිල්ලෙන්  පසු වූහ.
එදින වැහි දිනයකි. ආයතනය ඉදිරිපිට පාරේ කුඩ්ඩෝ එහා මෙහා සැරි සරති.
අද නම් මෙවුන් පනිනවා. සියලු‍ දෙනා විමසිල්ලෙන්ය.
ඒ අතරේ එකෙකු පාරේ නිදාගෙනය. රාත්‍රිය  උදාවෙලා ඇති බැවින් ඔහු කවුද යන්න පැහැදිලි ද නැත.
ඒ මොහොතේ ආයතනයේ සිටින සියලු‍ දෙනා එතැනට ළඟා වූහ.
කවුද කියා විමසුහ.
”‍ඇයි මම කවුරු වුණාම ඔයාලට මොකද?,
‘‘ඔහු ගේම ඉල්ලයි.
දෙපාර්ශවය අතර වචන හුවමාරු  වෙන විට එකෙකුගේ දුරකතනය  නාද වෙයි.
ඒ එහි සිටින අයකුගේ බිරියගෙන්ය.
‘‘මොකද කරන්නේ”‍ ඇය ඇසුවාය.
‘‘මේ එකෙක් පාරේ පිස්සු  කෙළිනවා. බීලා ද, කුඩු ගහලා ද කියන්න දන්නේ නෑ. ඌ අපෙන් ගේම ඉල්ලනවා. අපි  කට්ටියම එතැන පාරේ ඉන්නේ. ඇයි ගත්තේ කියන්න කෝ ”‍ඔහු විමසීය.
‘‘අනේ අනේ මිනිහෝ, ඕකා ඔයාලා පාරට ගෙන්නා ගන්න දාන රඟපෑමක්  ඕක. ඒ අතරේ කුඩ්ඩෝ පිටු පස්සෙන් රිංගලා සුද්දේ දෙනවා ඇති”‍
පෝන් එකේ ශබ්දය වැඩිකර තිබුණු නිසා ඇය කියු දේ සැමියාට විතරක් නෙමෙයි අන් අයට ද ඇසුණි.
‘‘ඇත්ත තමයි, සියලු‍ දෙනා ආයතනයේ පිටුපස දෙසට දිව ගියහ.
ඒ සැණින් වැටෙන් රිංගා  ඇතුළට එන්නට වෙර දැරූ කුඩ්ඩෝ පලා ගියහ. 
‘‘මචං බලපන් උඹේ නෝනා හින්දා වෙන්න තිබුණු අපරාධයක් වැළකුණා. නැතිනම්  හෙට අපිත් දොට්ට තමයි.”‍ එහි සිටි එකෙකු කීවාලු‍.

මොරගොල්ලාගම  සිසිර කැලේගම