තරුණයාට කැමැත්ත දෙන්න තරුණියගෙන් අපූරු යෝජනාවක්


තම අනාගත සැමියා නිල ඇඳුමකින් නිවසේ දී දකින්නට කැමැති නැති බැවින් එසේ නිවසට නොඑන ලෙසට පොරොන්දු වන්නේ නම් පමණක් විවාහයට තමන් කැමැති බවට කොන්දේසියක් පැනවූ තරුණියක ගැන මාඔය අසබඩ ගමක සිටී. 

නිල ඇඳුම් අඳින රැුකියාවක නිරත තරුණයකු පසුගියදා මනාලියක බලන්නට ආයේය. මනාලිය ඇඟලූම් සේවයේ නිරතව සිටින්නීය. කපුවකුගේ අනුදැනුම මත ආ මනාලයා නිල ඇඳුම් අඳින රජයේ රැුකියාවක නිරත බව දැන ගත් මනාලිය ඊට අකැමැත්ත පළ කළාය. එසේ වුවත් දෙදෙනාගේ කේන්දර පරීක්ෂා කිරීමෙන් පසු මනාලයා මෙම මංගල්ලයට තමන් කැමැති බව දන්වා එව්වේ ද කපු මහතා අතය.

මනාලියගේ පවුලේ උදවිය ද මනාලයාට කැමැති වුවත් මනාලිය කැමැති කර ගැනීම අපහසු විය. පවුලේ අයත් කපු මහතාත් ඇය හා වාද විවාද කරන්නට වූයේ මේ මංගල්ලය කෙසේ හෝ කරන අදහස ඇතිවය.

තමන් නිල ඇඳුමට මහත් බියක් දක්වන බව කී තරුණිය මනාලයා කිසි විටෙක තමන් හමුවට නිවෙසට කිසිදා නිල ඇඳුමින් නොපැමිණෙන බවට එකඟ වන්නේ නම් පමණක් තමන් විවාහයට කැමැති බව අවසානයේ ඇය කීවාය.

කපු මහතාගෙන් මේ බව දැනගත් මනාලයා ඊට කැමැත්ත දී ඇති අතර මේ දෙදෙනාගේ මංගල්ලය ළඟදීම සිදු කිරීමට නියමිත බව ද වාර්තා විය.