ණය හිලව් වෙන්න කතට අමුතු යෝජනාවක්


(කළුතර - සුනිල් එස්. තන්ත‍්‍රිආරච්චි)
කාන්තාවකට දුන් ණය මුදලක හිලව්වට ඇයට අයුතු යෝජනාවක් කළ බව කියන පුද්ගලයෙක් උතුරු කළුතර පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.


තම ස්වාමිපුරුෂයා විදේශගතවී ඇති බවත් තමා සැකකරුගෙන් රුපියල් පනස් දාහක මුදලක් ණයට ගත් අතර ඉන් රුපියල් විසිපන් දාහක් ආපසු දුන් බවත් ඉතිරි රුපියල් විසිපන්දාහ එපා කියමින් ඔහු තමාට ලිංගික තර්ජන කළ බවත් කියමින් එම කාන්තාව පොලිසියට පැමිණිලි කර තිබුණි.


සැකකරු තමාට දුරකථනයෙන් කතා කර ඔයාට ණයට දුන් සල්ලි එපා. හොඳ තැනක් තියනවා එතැනට එන්න. මම ත‍්‍රීවීල් එකක් එවනවා යැයි කී බවත් මේ බව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව සැකකරු තවත් අයෙකු සමග පැමිණ තර්ජනය කළ බවත් පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි උතුරු කළුතර පොලිසිය කියයි.


උතුරු කළුතර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක අනුර සිල්වා, පොලිස් පරීක්‍ෂක ජයතිස්ස, උප පොලිස් පරීක්‍ෂක පද්මසිරි කුලතුංග, කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක අමාල් රත්නායක යන මහත්ම මහත්මීහු මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.