ගුරුතුමා නැතැයි කී සිසුන්ට විදුහල්පති කුණු අහුලන්න දීලා


 කාල සටහන අනුව තම පන්තියට නියමිත ගුරුවරයෙක් නොවීය. කාර්යාලයට ගිය පන්ති නායක හා උප නායක යන දෙදෙනාට බරපතළ වරදක් කළාසේ සලකා කාලපරිච්ඡේද දෙකක් තිස්සේ පාසල් බිමේ කොළ රොඩු ඇහිඳින ලෙස ඒ මහා දිසාපාමොක් අණ කෙළේය.
නිදහස් අධ්‍යාපනයත් සමග බිහිවූ නමගිය පාසලකි. වසරේ අඩක් ගෙවී ඇතත් තවම පන්ති කාල සටහන දොසින් යුක්තය. මේ නිසා බොහෝ දිනවල පන්තිවල අධ්‍යාපන කටයුතු අඩාල වෙන්නේ, කාල සටහන නිවැරදි කරන්නට කාටවත් දෙන්නේ නැතිලූ.
 හයවැනි ශ්‍රේණියේ පන්තියකට ඉකුත් සතියේ දිනක උදේම නියමිත පාඩම වූයේ බුද්ධාගමයි. ගණිත ගුරුවරයා පන්තියට ආවේය. ඔහු පාඩම පටන් ගන්නට හැදුවා පමණි. බුද්ධාගම ගුරුතුමාද ආවේය. ඒ අතර මේ දෙදෙනාට වෙනත් පන්ති දෙකක වැඩ පැවරී ඇති බව ද දැනගන්නට ලැබීමෙන් පසු දෙදෙනාම පන්තියෙන් පිටව ගියහ. විදුහල්පතිට කියා විසඳුමක් ලබා ගන්නාලෙස ඒ දෙන්නා පන්ති නායකයාට උපදෙස් දුන්නේය.
 ඒ අනුව පන්ති නායකයා උප නායකයා සමග දිසාපාමොක් හමුවී මේ බව කීවේය. කිසිදු සොයා බැලීමකින් තොරව ”තමුසෙලා බොරු කියනවා” යි චෝදනා කළ දිසාපාමොක්වරයා මේ දෙදෙනාට වත්තේ කොළ රොඩු ඇහිඳින්නට අණ දුන්නේය. ඔවුන් නිසි පරිදි වැඩ කරනවාදැයි බලන්නට තම  හිතවත් සේවකයකුට බාර කළේය. සිසුන්ගේ වැඩ බලන්නට බාර කළ සේවකයා ඇතුළු දහතුන් දෙනෙක් වත්තේ පිටියේ වැඩට මෙම විදුහලේ සේවක මණ්ඩලයට ඇතුළත්ව සිටිති. එසේ සිටියදී සිසුන්ගෙන් නිතර වැඩ ගැනීම මේ දිසාපාමොක්ගේ සිරිතලූ. එහි ලොකු රහසක් තිබෙනවාලූ.