කැඳ හදන්න වැල්පෙනෙල ගේන්න කිවුවාම කරවිල කොළ ගෙනල්ලා


(කලවාන:- උපේන්ද්‍ර ප‍්‍රියංකර ජාතුංගම)
තම බිරිය විසින් වැල්පෙනෙල ගෙනෙන්නට කියූ විට කරවිල කොළ රැගෙන ගොස් බිරියගෙන් බැණුම් ඇසූ පුවතක් මොරපිටිය ප‍්‍රදේශයෙන් වාර්තා වේ.
සිද්ධිය මෙසේය.


ඔහු දිනපතා මත්පැන් පානය කරන පුද්ගලයෙකි. මොහුගේ මත්පැන් පානය නිසා ගෙදර බොහෝ අගහිඟකම් පැවතුනි. බිරිය විසින් එදා වේල සොයා ගැනීම සඳහා කොළ කැඳ ව්‍යාපාරයක් පටන් ගෙන තිබේ. දිනපතා විවිධ වාර්ගවල කොළ කැඳ සාදන අතර, මෙදින ඇයට වැල්පෙනෙල කැඳ  ඕඩරයක් ලැබී ඇත. ඇය දිනය පුරා වැල්පෙනෙල සෙව්වත් හමුවී නොමැත. පසුව සැමියා ඉදිරිපත්ව තමා වැල්පෙනෙල දන්නා තැනක් තිබෙන බවත් මුදල් දුන් විට ගෙන ආ හැකි බවත් බිරියට පවසා ඇත.


අවිශ්වාසයෙන් වුවද මොහු ගැන විශ්වාසය තැබූ බිරිය මොහුට මුදල් දී ඇත. විගසට මත්පැනින් සූර්වූ ඔහු අසල තිබූ කොටුවට පැන කරවිල වැල් උදුරා පෝර උරයකට දමාගෙන ගොස් වහලය මතට හලා ඇත්තේ නැවුම් බවක් ලබා ගැනීමටය.


උදෑසන අවදි වූ බිරිය කැඳ සෑදීමට සිතා කොළ ගැනීමට ගොස් බැලීමේදී කරවිල වැල් දැක යකා ආරූඪ වී ඇත. අද දිනයේ කැඳ  ඕඩරයෙන් තමන්ට බැණුම් ඇසීමට සිදුවන බව දැනගත් ඇය තමන් අසන බැණුම් පරිද්දෙන්ම සැමියාට බැණ වැදී ඇත.