(මොරගොල්ලාගම - සිසිර නන්දන කැලේගම)
උඩින් ගිය ඉබ්බකු දැක එයට පිරිසක් හූ හඬ නගද්දී ඉබ්බා පොල්පිතිගම නගරය මැදට ඇද වැටීමේ පුවතක් එම ප‍්‍රදේශයෙන් අපට අසන්නට ලැබිණි.
කොක්කු ජෝඩුවක් ගුවනින් ඉබ්බකු රැගෙන ගිය කතාව අපි අසා ඇත්තෙමු. එම ඉබ්බා බිමට වැටුණේ ඉබ්බාගේම වරදිනි. එහෙත් මෙම ඉබ්බාගේ වාසනාවකට මෙන් ඌ බිමට වැටී ඇත්තේ රැුගෙන ගිය කොකාගේ වරදකිනි.
එදින සවස් යාමය අධික වර්ෂාව පැවති මොහොතකි. වැස්ස නිසා මග දෙපස වෙළෙඳසල් අවට ද විශාල පිරිසක් රැඳී සිටියහ.
මේ අතර වැස්සේ තෙමි තෙමී මාවත ඔස්සේ පැමිණි යතුරුපැදියකි. ඔහු කාපට් වෙළෙඳාම් කොට ආපසු තම නිවෙස කරා යමින් සිටියේය. යතුරුපැදියේ පිටුපස කාපට් රඳවා තිබිණි. එහි සඟවා සිටි ඉබ්බකු කෙසේ හෝ එළියට විත් කාපට් මත එහෙ මෙහෙ අපහසුවෙන් සැරිසරනා අයුරු රැස්ව සිටි පිරිසකගේ නෙත ගැටුණි.
හූ..... හූ..... අන්න ඉබ්බෙක් උඩින් යනවෝ..... රැස්ව සිටි පිරිස අතරින් කිහිපදෙනෙක් ඔච්චමට මෙන් කෑගැසූහ.
ලැබෙනා අපවාදයට වඩා ඉබ්බකු අතැතිව නීතියට කොටු වුවහොත් ඉන් හිමිවන දඬුවමේ බරපතළකම දත් ඔහු ඔවුන් අතරින් මිදී පලා යාමට මෙන් යතුරුපැදියේ වේගය වැඩි කළේය.
ඔහුට යාමට හැකි වූයේ ටික දුරකි. ඉබ්බා මහ මගට ඇද වැටුණි. වැස්ස නිසා ගලා යන දිය පහර ඔස්සේ ඌ යාබඳ වැවකට ඇදී ගියේය. යතුරුපැදිකරුවා පලා ගියේය.

