කලිසමක් මිලදී ගන්න ඇවිත් දෙකක් නොමිලේ ඇඳගෙන යන්න හදලා


දූනගහ රෙදි වෙළෙඳසලකට මැසූ කලිසමක් මිල දී ගැනීමට පැමිණි අයකු වෙළෙඳසලේ තරුණියට හොරා කලිසම් දෙකක් යටට ඇඳ වෙළෙඳසලෙන් පිටවී යාමට උත්සාහ කරද්දී අල්ලා පොලිසියට බාරදී ඇත. සිද්ධිය සැකෙවින් මෙසේය. දූනගහ නගරයේ තරුණියක පවත්වාගෙන යන රෙදි වෙළෙඳසලකට කලිසමක් මිලදී ගැනීමට තරුණයෙක් පැමිණියේය. ඔහු කලිසම් තෝර තෝරා බලද්දී තරුණිය ද වෙනත් වැඩවල නියැළුණාය. තරුණයා හිස් අතින් පැමිණි අයකු නිසා ඇය වැඩිපුර ඔහු දෙස නොබැලීය. ඔහු වෙළෙඳසලේ ඇතුළත කාමරයේ ද රෙදි පිරික්සා බලා ගැළපෙන කලිසම් නැත කියමින් පිටවන දොරටුව අසලට පැමිණියේය. ඒ වන විට ඔහුගේ ඉන ප‍්‍රදේශය මහත්ව තිබෙනු  දැක තරුණිය අසල පිහිටි වෙළෙඳසල් හිමිකරුවනට මේ බව දැන්වූවාය. ඔවුහු තරුණයා අල්ලා පරීක්ෂා කිරීමේදී ඇඳ සිටි කලිසමට යටින් අලූත් කලිසම් දෙකක් ඇද සිටි අයුරු දැක ගත්හ. ඔවුහු කලිසම් හොරා අල්ලා පොලිසියට බාර කළහ.