ඉංජිනේරුවා වාහනයේ බෝම්බයකුත් පටවාගෙන ගිහින්


(තිහගොඩ - උපසේන ලියනගම)
උතුරු පළාතේ සංවර්ධන කටයුතුවල නිරතවන ප‍්‍රධාන පෙළේ දෙමළ ඉංජිනේරුවරයෙකි. පසුගියදා වාහනයෙන් සේවයට  යාමට සූදානම් වන විටම බිරියද වාහනයට නැග්ගේ හිතවත් රෝගියකු බැලීමට යාමට අවශ්‍ය බව කියමිනි.


බිරිඳගේ හිතුවක්කාරකම සහ මුරණ්ඩු බව දන්නා ඔහු ”හරි හරි යං” කීවත් සිත යට කෝපයක් තිබිණි. වාහනයට නැගගත් මොහොතේම වායුසමන යන්ත‍්‍රය නතර කිරීමට කීවේ තමාට පීනස් ගතිය ඇති නිසාය.


මඳ දුරක් ගිය ඔහුට  මතක් වූයේ වැඩපළට රිවට් ඇණ කීපයක්ද ගෙන යා යුතු බවය. ඔහු ඒ බව බිරියට කියා යකඩ බඩු සාප්පුවට ඇතුළු විය. බිරිය වහා එන ලෙස කීවත් සාප්පුවේ වැඩ ඉතා ප‍්‍රමාද විය. කීප වරක් සේවකයාට මේ ගැන කීවත් බැරිම තැන ”ළමයෝ කාර් එකේ බෝම්බයක්. ඒක පුපුරන්න කලින් යන්න  ඕනෑ” කීවේ බිරියගේ හැටි දන්නා නිසාය.


බඩු පොදිය රැුගෙන එන විට ප‍්‍රමාදය නිසා බිරිය සිටියේ කෝපයෙන් පුපුරමිනි. ඔහු කතාවක් නැතිව ටික දුරක් ගිය විට නගරය අබියසදී පොලිස් නිලධාරිහු දෙදෙනෙක් වාහනයේ අංකය පරීක්ෂා කොට එය නැවැත්වූහ.


”සර් වාහනය චෙක් කරන්න වෙනවා.” ඔවුන් කීවේ යටහත් බවක් පෙන්වමිනි. හදිසියේ යමක් සිහිවූ ඉංජිනේරුවා තමා යකඩ කඩයේ බඩුගනිමින් සිටියදී ”කාර් එකේ බෝම්බයක් තියෙනවා” යි කී කතාව ඇසුණු අයකු 119 දුරකතන අංකයට ඇමතුමක් දී ඇති බව සිතිණ. මේ කතාව පොලිස් නිලධාරියාට කී විට ඔහු බිරිඳ දෙසද බලා සිනාසී යාමට අවසර දුන්නලූ.