ආරක්ෂක නිලධාරියා සපත්තු මහන්නෙක් වෙලා


සේවයේ යෙදී සිටි පුද්ගලික ආරක්‍ෂක නිලධාරියකු වෙත පැමිණි රූමත් තරුණියන් දෙදෙනෙකි. තරුණියන් දෙදෙනාගෙන් එක් අයකු අත සෙරප්පුවක් විය. එය දුටු තරුණ ආරක්‍ෂක නිලධාරියා මදක් චකිතයට පත්විය.

 ”අනේ අයියේ අපිට පොඩි උදව්වක් කරන්න” සෙරප්පුව ඇතැතිව සිටි තරුණිය කන්කළු ස්වරයකින් පැවසුවාය. ”මොකක්ද මිස් කෙරෙන්න  ඕනේ” ආරක්‍ෂක නිලධාරියා කරුණාවෙන් විමසූවිට ”අයියේ මේ හැට්ට කට්ට සෙරප්පුවට ගහලා දෙන්න. සෙරප්පුව හයිය නිසා මේක ගහන්න අමාරුයි” ඇය කීවේ කොමළ සිනහවකින් මුව සරසාගෙනය. ඔහු කටුව සෙරප්පුව තුළට යැවීමට උත්සාහ කළත් එය අසාර්ථක වී කටුව නැමීගියේය. ”ඉන්න මිස් මම ඇණයක් අරන් එන්නම්” යැයි පැවසූ හෙතෙම අනෙක් ආරක්‍ෂක නිලධාරියාව එතැන රඳවා, ආයතනය තුළට පිවිසියේය. ඇණයක් සමඟ මිටියක් රැගෙන ආ ආරක්‍ෂක නිලධාරියා, සෙරෙප්පුව කදිමට සාදා දුන්නේය. අනේක වාරයක් ස්තුති කළ තරුණියන් දෙදෙනා හිරිපොද වැස්සේම එතැනින් පිටව ගියෝය.

ස්වල්ප වේලාවකින් ආරක්‍ෂක නිලධාරියාට තරු පෙනුණේ ආයතනයේ ආරක්‍ෂක කළමනාකාර මහතා තම කාර්යාලයට පැමිණෙන ලෙසට දැන්වූ විටය. ”සෙරප්පුව හැදුවාට උඩට ට‍්‍රාන්සර් එකක් දෙන්නයි යන්නේ” මිතුරා ඔහුට පැවසීය. තමා ඉදිරියට පැමිනි ආරක්‍ෂක නිලධාරියා ඇමතූ ආරක්‍ෂක කළමනාකාර මහතා ”කපිල කවදද සපත්තු කඩයක් දැම්මේ” යනුවෙන් ඇසීය. ”නැහැ සර්, මිස් කෙනෙක් ආවා. එයාගේ සෙරෙප්පුව කැඩිලා. මේ හරියේ සෙරෙප්පු හදන තැනකුත් නැහැනේ. අනෙක වැස්ස. මම ඉතින් හදලා දුන්නා.” ඔහු සීරුවෙන් පැවසීය. ” හා හා කමක් නෑ කරදරයක් වුණාම අපි උදව් කරන්න  ඕනේ. හරි හරි යන්න ”ආරක්‍ෂක කළමනාකරු කට කොනකින් සිනහසෙමින් කීය.