කෑගල්ල අධිකරණ - චමින්ද වැවතැන්න
ව්‍යාජ මාලයක් තබා මිත්තණියගේ පවුම් දෙකක් බරැති රන් මාලය සොරකම් කරගෙන ගොස් උකස් කර ගත් මුදලකින් මිතුරන් පිරිසක් සමග කා බී උපන්දිනය සැමරූ අපූරු තරුණයකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කෑගල්ල නගරයට ඈතින් පිහිටි ග්‍රාමයක 79 හැවිරිදි සිවුදරු වයෝවෘද්ධ මවක් මුනුපුරකු සමග පදිංචිව සිටියාය. මෙම වයෝවෘද්ධ මවට ගැහැනු දරුවෝ තිදෙනෙක් හා එක් පුතෙක් සිටියහ. ඇගේ සැමියා කලකට ඉහතදී රිය අනතුරකින් හදිසියේ මිය ගියේය.
දරුවන් සිවුදෙනාම විවාහ වී ඇති අතර ගැහැනු දරුවෝ තිදෙනා කළුතර අනුරාධපුර හා මාවනැල්ල ප්‍රදේශවල පදිංචිව සිටිති. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පහසුව තකා එකම පිරිමි දරුවා ද මහ ගෙදර නිවෙසේ මව තනිකර බිරිය, දරුවන් සමග කෑගල්ල නගරයට කිට්ටුව කුලියට ගත් නිවෙසක පදිංචියට ගියේය. මෙම වයෝවෘද්ධ මවගේ දරුවන් සිවුදෙනාගෙන් තිදෙනකු රජයේ රැකියා කරන අතර එක් දියණියක් වෙළෙඳ ව්‍යාපාරියකු සමග විවාහ වී කළුතර පදිංචිව සිටින්නීය.
මාවනැල්ලේ පදිංචිව සිටින වැඩිමල් දියණියගේ 21 හැවිරිදි පිරිමි දරුවා දිනක් ඇඳුම් බෑගයක් ද රැගෙන වයෝවෘද්ධ මවගේ නිවෙසට පැමිණ සිටියේය. සිනාමුසු මුහුණින් මුනුපුරා පිළිගත් වයෝවෘද්ධ මව ඔහුට කාමරක් පෙන්වා දී කෑම ද පිළියෙළ කර දුන්නාය. ඉකුත් දිනක තරුණයාගේ 21 වැනි උපන්දිනය යෙදී තිබුණි. උපන් දිනය දා තම මිතුරන්ට සංග්‍රහයක් පැවැත්විය යුතු යැයි තරුණයා සිතුව ද අතමිට මුදලක් නොතිබුණි.
මිත්තණියගේ රන් භාණ්ඩ අල්මාරියේ තබා ඇති බව දැනගත් තරුණයා දිනක් ඇය නගරයට ගිය අවස්ථාවේ දී අල්මාරියේ තිබුණු රන් භාණ්ඩ ගොඩෙන් පවුම් දෙකක් බරැති මාලයක් සොරකම් කර තරුණයාගේ ගෙලෙහි පැලඳ සිටි ව්‍යාජ මාලය ගලවා එහි තැබුවේය.
පසුව තරුණයා මිතුරකු සමග නගරයට ගොස් රන් මාලය රුපියල් ලක්ෂයකට උකස් කර ගත් මුදල්වලින් මත්පැන් බෝතලයක් සමග කෑම ජාති බොහොමයක් රැගෙන නිවෙසට පැමිණියේය. මිත්තණියට ද චිකන් රයිස් කෑම එකක් දුන් තරුණයා මිතුරන් සිවුදෙනා සමග කාමරයට රිංගාගෙන මත්පැන් පානය කර ගෙනා කෑම බීම කා ගී ගයා උපන්දිනය සැමරුවේය. පසුවදා වයෝවෘද්ධ කාන්තාව පින්කම් ගෙදරකට ඇඳගෙන යාමට සාරියක් ගැනීමට අල්මාරිය විවෘත කළාය. සුදු සාරියක් ගෙන රන් භාණ්ඩ බහා තිබුණු පෙට්ටිය ද පිටතට ගෙන නිකමට මෙන් විවර කර බැලුවාය. රන් මාලය අතට ගත් වයෝවෘද්ධ කාන්තාවට එහි බර අඩු බවක් හා වෙනසක් දැනී සැක පහළ විය.
මාලය අතට ගෙන අල්ලපු කාමරයට ගොස් කරේ දමාගෙන හිටපු මාලය කෝ යැයි මුනුපුරාගෙන් වයෝවෘද්ධ කාන්තාව විමසුවාය. තරුණයා ගොළු වී නිරුත්තරව බිම බලා ගත්තේය. අවසානයේ තමන්ට සිදුවූ පාඩුව ගැන කල්පනා කරමින් වයෝවෘද්ධ කාන්තාව විලාප දෙන්නට පටන් ගත්තාය.

