අවංකකම පෙන්වන්න ගිහින් අම්බානට ගුටි කාලා



කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම



විවාහ උත්සවයේදී අධික බීමතින් කියූ වචනයක් නිසා අම්බානක ගුටි කන්න වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.
 ඔහු එම විවාහක තරුණියගේ පවුල සමග සමීපව කටයුතු කළ පුද්ගලයකි. ත්‍රිරෝද රථ රියදුරුවරයකු වන ඔහු එම ගමේ හන්දියේ ත්‍රිරෝද රථය ගාල් කර කුලී ගමන් දුවයි. ත්‍රිරෝද රථ ගාලේ ‘‘අවංකයා”‍ ලෙස හඳුන්වන ඔහු, ඇත්තටම අවංක නිහතමානී චරිතයකි. ඇතැම් පුද්ගලයන් හයර් ගොස් අමතකව දමා යන ජංගම දුරකථන ඇතුළු බඩු භාණ්ඩ ඔහු එම කුලී ගමන ගිය පුද්ගලයා සොයා ආපසු ලබා දෙන්නේ ඔහුගේ අවංක කම නිසාමය. මෙම විවාහය සිදු වූ පවුලේ ද සියලු‍ම කුලී ගමන් ගොස් ඇත්තේ ඔහුය. 
ධනවත් පවුලක් වූ ඔවුහු බොහෝ අවස්ථාවල කුලී ගමනට වැඩි මුදලක් හා ගෙදරට කැඳවා තේ එකක් ලබාදීමට කටයුතු කරති. එම පවුලේ එකම දියණිය තරමක් සෙල්ලක් කාර එකියක් වූ අතර, ඇය බොහෝ තරුණයන් ආශ්‍රය කර ඔවුන් සමග හෝටල් කාමර වෙත යයි.
එම ගමන් සඳහා ද එම තරුණිය ඔහු යොදාගන්නේ ඔහුගේ අවංක බව නිසාය. එහෙත් එම පවුල නොදන්නා හැමෝම දන්නා අවංකයාගේ ප්‍රසිද්ධ රහසක් තිබුණි. ඒ ඔහු අධික ලෙස මත්පැන් පානය කරන අතර, එවිට ඔහුගේ අවංක භාවය කටින් පිටවන නිසාය. 
බොහෝ විට බීමතින් ඔහු ඇතැම් දෑ කියන්නේ ඔහුගේ අවංක භාවය පෙන්වීමටය. කෙසේ වෙතත් එම විවාහක තරුණියගේ විවාහ මංගල්‍යය වෙත ඔහුටද ආරාධනා ලැබී ඇති අතර, ඔහු එයට සහභාගි වී ඇත්තේ වේලාසනින්ය.


පසුව ඔහු මගුල් ගෙදරින් මත්පැන්වලින් හොඳින් සප්පායම් වී ඇත. පසුව මනාල යුවල මධුසමය වෙත පිටත්වන වෙලාව පැමිණ ඇති අතර, මනාලිය එළියට බසිද්දී ඇයගේ අතීත ක්‍රියාකාරකම් හොඳින් දන්නා ඇයගේ මව ඇය බදාගෙන හඬා ඇත්තේ දුකට නොව සාම්ප්‍රදායක් ලෙසය.
 මෙය දුටු අවංකයා ඉදිරියට පැන ‘‘ඇයි ඇන්ටි අඬන්නේ, නංගී මේවා පුරුදු වෙන්න යන ගමන්ද? මාත් එක්කනම් කොච්චර ගිහින් ඇද්ද? යැයි කියා ඇත්තේ සූර් පිටය. පැමිණ සිටි මනාල පාර්ශ්වයේ අය හා හිතවතුන් මුහුණට මුහුණ බලා ගද්දී, මනාලිය ආරූඪ වූ කපුවෙකු පොල් මලින් ඔළුවට ගසා ගන්නා මෙන් ත්‍රිරෝද රථ අවංකයාට පහර දීමට පටන් ගෙන ඇත.
 තරබාරූ කාන්තාවක් වූ මනාලියගේ මව කෙට්ටු ඔහුගේ ඇට කටු කුඩු කරන්න තරම් හයියෙන් පහර දෙද්දී, දෙවියන් සිහිපත් කළ ඔහු පැමිණි ත්‍රිරෝද රථය විවාහ උත්සව ශාලාවේ දමා, කකුල් දෙකේ පිහිට පතා හැකි වේගයෙන් දුවගොස් ඇත්තේ ටයි කෝට් කාරයන් පෝලිමේ ඔහුව පන්නාගෙන එද්දීය.