එහා ගෙදර මහත්තයාගේ අමතක වීමේ රෝගය මෙහා ගෙදර මහත්තයාටත් බෝවීම නිසා පවුල් දෙක අතර මහත් ආරවුලක් ඇතිවීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ දෙහිවල පැත්තෙනි.
එක ආසන්නයේ පිහිටි මේ ගෙවල් දෙකේම පදිංචිව සිටියේ මෑතක විවාහයට පත් ජෝඩු දෙකකි. එක් පවුලක බිරිඳ රැකියාවක් නොකළ අතර සෙසු තිදෙනාම විවිධ රැකියාවල නිරත වූහ.
පසුගියදා එහා ගෙදර රැකියාවේ නියුක්ත කාන්තාව සවස සබන් හා තුවායද රැගෙන මෙහා ගෙදරට ආවේ කලබලයෙනි.
‘‘අනේ නංගි අපේ මහත්තයට අමතක වෙලා ලයිට් තියෙන වෙලාවට වතුර මෝටරේ දාල නැහැ. දැන් ලයිටුත් නැහැ. වතුර ටැංකියත් පතුලටම හිඳිලා’’ කීවේ එම නිවෙසෙන් නාගැනීමට අවසර ඉල්ලමිනි. ඇය සිනාසී අවසර දුන්නාය.
මේ ආකාරයට දින දෙක තුනක්ම උදේ හවස වතුර පරිභෝජනයට ඒම මෙහා ගෙදර කාන්තාවට මහා හිසරදයක් විය.
පසුවදා සැමියාගේ අමතක වීම ගැන කියා ඇය එහි ආවේ නාගෙන රෙදි සෝදා ගැනීමටත් සූදානම්වය. එහෙත් මෙහා ගෙදර කාන්තාව ‘‘අනේ අක්කේ ඔයාගෙ මහත්තයගෙ අමතක වන ලෙඩේ අපේ මහත්තයාටත් ඇවිත්. ටැංකියේ වතුර බිංදුවක් නෑ’’ කීවාලු.
තිහගොඩ උපසේන ලියනගම