අපලයට බෙදූ බත් පාර්සල් එක්ක ලක්ෂයකුත් පුදලා


(උණවටුන - ඞී.ජී. සුගතපාල)
විවිධ අපල වෙනුවෙන් සහන ලබා ගැනීමට ජ්‍යෙතිෂවේදීන්ගේ උපදෙස් පරිදි දුගී මගී යාචකයන්ට ආහාර පාන ලබාදීම බොහෝ දෙනාගේ සිරිතකි.


එසේ අපල දුරුකර ගැනීමට උපදෙස් ලැබූ මවක් බත් පාර්සල් කිහිපයක් රැුගෙන තම දියණිය ද සමග ගාල්ල නගරයට පැමිණියේ ඒවා බෙදා දීමටය.


ඒවා බෙදා දීමට පෙර ඇය පොලිසිය ඉදිරිපිට බැංකුවට ගොස් රුපියල් ලක්‍ෂයක් ගත්තේ හදිසි අවශ්‍යතාවකටය. එම රුපියල් ලක්‍ෂයම කලබලයට කෑම පාර්සල් තිබූ බෑග් එකටම දමා ගත් ඇය දියණිය සමග කෑම පාර්සල් බෙදා දීමට පටන් ගත්තාය.


නගරය පුරා ඇවිද සුදුසු අයට කෑම පාර්සල් බෙදා දුන් මව සහ දියණිය අවසාන වශයෙන් පැමිණියේ පොලිසිය ඉදිරිපිටටය. පොලිසිය ඉදිරිපිට තාප්පය අයිනේ සිටි පුද්ගලයකුට ඉතිරිවී තිබූ කෑම පාර්සලය බෑග් එක පිටින්ම ඇය දුන්නාය.


නෝනට පිංසිද්ද වෙන්න  ඕනෑ. බුදු බව ලැබේවා. කියමින් ඔහු දෝතින්ම කෑම පාර්සලය සහිත බෑග් එක ගත්තේය. මවගේ සහ දියණියගේ සිත් සතුටින් පිරි ගියහ. මෙතෙක් තිබූ සියලූ අපල දුරුවූවාසේ ඔවුනට හැඟින.


ඔවුන් එම ස්ථානයෙන් පිටවූයේ හදපිරි සතුටිනි. එහෙත් ටික දුරක් ගියවිට රුපියල් ලක්‍ෂයද කෑම පාර්සල් තිබූ බෑගයේම දමා ගත් බව ඇයට සිහිවිය. අපලය දුරුවූවා නොව එය දෙගුණ තෙගුණ වූ බව ඇයට හැඟිණ. වහාම ආපසු පැමිණ බැලූවත් එම ස්ථානයේ ඔහු දක්නට නොවීය. පසුව ඇය දියණිය සමග පොලිසියට පැමිණ හැඬූ කඳුළින් සිද්ධිය පැවසුවාය.


එහෙත් ඇය කෑම පාර්සලය දුන් පුද්ගලයා සොයා ගැනීමට නොහැකිවිය. කෙසේ වෙතත් එම පුද්ගලයාගේ අපලය නම් දූරුවූ බව බලා අසාසිටි අය පැවසූහ.