අනියම් පෙමකට සේසතම පුදලා



උණවටුන ඩි.ජී.සුගතපාල



ඔහු 58 හැවිරිදි පුද්ගලයෙකි. රැකියාව කුරුඳු තැළීමය. ඔහු දකුණේ ගමේ ඉඩමක කුරුඳු තළා ගමට යාම සඳහා ඉරිදා සවස ගාල්ල බස් නැවතුම්පොළට පැමිණ සිටියේය.
ඒ වනවිට වේලාව සවස පහට පමණ ඇත. බස් නැවතුම්පොළේ එතරම් තද බදයක්ද තිබුනේ නැත. 
මේ අතර ඔහුගේ ළඟට පැමිණියේ තරුණියකි. ඇයගේ වයස අවුරුදු 22කි. විනාඩි කිහිපයක් යනවිට ඇය ඔහු සමග කතාවට වැටුණාය. දැන් දෙදෙනා හොඳ මිතුරෝය. දෙදෙනාගේ කතාවට කිසිවෙකුගෙන් වත් බාධාවක් නැත. දකින අය සිතුවේ පියකු සහ දියණියක කියාය. එහෙත් ටික වේලාවක් යනවිට දෙදෙනාට වයස් පරතරය අමතකවිය.


ඔහුගේ සිතිවිල්ල හරියටම හරි ගියේය. සුළු වේලාවකින් ඇය ඔහුද සමග කළුවැල්ලේ මුහුදු වෙරළේ වැටකෙයියා පඳුරක් අසලට ගියාය. මහත් බලාපොරොත්තු සහිතවු ඔහු ඇයගේ අතින් අල්ලා ගැනීමට සැරසුණා පමණි.
එක් වරම එතැනට කඩා වැදුණ පුද්ගලයකු “ඒයි මගේ ගෑනිට මොකක්ද කරන්න හදන්නේ’’ කියමින් පහරක් එල්ල කළේය. තමා මහත් බලාපොරොත්තු තබාගෙන පැමිණි කාන්තාව ඔහුට පහරක් එල්ල කොට ඔහුගේ අතේ තිබූ ජංගම දුරකතනය උදුරා ගත්තාය. පසුව දෙදෙනාම එක්වි ඔහුගේ සාක්කුවේ තිබූ රුපියල් 17000ක මුදලක්ද කොල්ලකා තවත් පහරක් ඔහුට ගසා දෙදෙනා එම ස්ථානයෙන් පිටව ගියහ.
අවසානයේ අසරණවූ ඔහු දුව ආවේ ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශය වෙතටය.