අත් පළඳනාව රන් දැයි සොයන්න අයිතිකාරයා ළඟටම ගෙනැවිත්


(වලපනේ අරුණ ඩයස්)
 රාගල නගරයේ වෙළඳ ව්‍යාපාරිකයකු සිය අතක පැළඳගෙන සිටි රුපියල් ලක්‍ෂ දෙකහමාරක් පමණ වටිනා රත්තරං අත් පළඳනාවක් පසුගිය දිනක සිය වෙළෙඳ ව්‍යාපාරික ස්ථානය කරා පැමිණෙමින් සිටින අතරතුර නොදැණුවත්වම සිය අතින් ගිිලිහී මහමඟ වැටී ඇත.


 රුපියල් ලක්‍ෂ දෙක හමාරක් පමණ වටිනා සිය අතක පැළඳගෙන සිටි අත්පළඳනාව නොදැණුවත්වම සිය අතින් ගිලිහී ගොස් මහමඟ වැටී ඇති බවට වෙළෙඳ ව්‍යාපාරිකයා විසින් රාගල පොලිසියට පැමිණිලි කර පොලීසිය දැණුම්වත් කිරීමක් සිදුකර ඇත.


 මේ අතරතුර රාගල නගරයේ මහමඟ ගමන් කරමින් සිටි ප‍්‍රදේශයේ තරුණයකුට මහ මඟ වැටී තිබූ මෙම රන් අත්පළඳනාව හමු වී ඇති අතර ඔහු මේ බව සිය හිත මිතුරන් පිරිසකටද පවසා මෙම රන් අත්පළඳානව රත්තරන් නම් එය විකුණා එම මුදලින් විනෝද වීමට කතා බහ කර  ගෙන ඇත.


පසුව එම පළඳනාව රත්තරංද යන්න සැකය දුරු කර ගැනීම සඳහා එම බ්‍රේස්ලට් අත් පළඳනාව රාගල නගරයේ වෙළෙඳ ව්‍යාපාරිකයකු වෙත පැමිණ රත්තරංද යන්න පරීක්‍ෂා කිරීමටද දී ඇත.


 වෙළෙඳ ව්‍යාපාරිකයා මෙම අත් පළඳනාව හොඳින් පරීක්‍ෂා කර බලා එය සිය අතේ පැළඳගෙන සිටිත්දී තමා නොදැනුවත්ව සිය අතෙන් ගිලිහී ගිය බ්‍රේස්ලට් අත් පළඳනාව බවට හඳුනාගෙන ඇත.


තමාගේ අත් පළඟනාව බවට ව්‍යාපාරිකයා හඳුනා ගෙන මේ බව තරුණයන්ට පැවසීමෙන් පසු  තරණයන් මුහුණට මුහුණ බලාගෙන ලැජ්ජාවට පත්ව ව්‍යාපාරිකයාට මුහුණදීමට නොහැකිව ලැජ්ජාවට පත්ව දිවගොස් ඇත.