මාස 5 බිළිඳාගේ ඇට මිදුළු බද්ධයටත් කොරෝනා හරස්වෙයි


(ඉන්දිකා රාමනායක)

ඇටමිදුළු බද්ධ කිරීමක් සඳහා  හෙට (10 වැනිදා) ඉන්දියාව බලා පිටත්ව යාමට සිටි  මාස 5 ක් වියැති බිළිදකුගේ පියාට කොරෝනා  වයිරසය ආසාදනය වී ඇතැයි ගොතටුව  සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ  පරිපාලන  මහජන සෞඛ්‍ය පරීක්ෂක   නලීන් ෆෝන්සේකා මහතා පැවසීය.  කොරෝනා වයිරසය ආසාදිත මෙම   පුද්ගලයා  මහනුවර පදිංචිකරුවකු වන අතර ඔහුගේ දරුවා ඇට මිදුළු රෝගයෙන් පෙලීම හේතුවෙන්  මස 5 ක පමණ කාලයක් පුරා  රිජ්වේ  ආර්යා ළමා රෝහලේ  ප්‍රතිකාර ලබමින් සිට සිට ඇත.

මේ හේතුවෙන් දරුවාගේ මව සහ පියා කොටිකාවත්තේ ඥාති නිවසක රැදී  සිට ඇති බවද නලීන් ෆෝන්සේකා මහතා පැවසීය.

මෙම පුද්ගලයාට  කොරෝනා රෝගී ලක්ෂණයක්  පෙන්නුම් කර නොමැති නමුත්  දරුවාගේ  ඇට මිදුළු බද්ධකිරීමේ ශල්‍ය කර්මය  සදහා  ඉන්දියාව බලා යාමට නියමිතව තිබු හෙයින්   ඔවුන්  පී සී ආර් පරීක්ෂණයට භාජනය වී තිබේ.  එහිදී  දරුවාගේ පියා  කොරෝනා ආසාදිතයකු වශයෙන් තහවුරු වු බවත් ගොතටුව  සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ  පරිපාලන  මහජන සෞඛ්‍ය පරීක්ෂක   නලීන් ෆොන්සේකා මහතා පැවසීය.

හේතුවෙන් දරුවාගේ  පියා නැවතැන්ගෙන සිටි කොටිකාවත්ත  නිවසේ    6 දෙනෙක්  අද  (9) පී සී. ආර්. පරීක්ෂණයට ලක්   කර  නිවස තුළම නිරෝධායනය කර ඇත. කෙසේ වෙතත් ඔහුගේ බිරිඳට හා  රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවට  වයිරසය ආසාදනය වී නොමැති බව  රිජ්වේ ආර්යා රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙම පුද්ගලයා  සිය දරුවා බැලීමට  නිතර නිතර රෝහලට පැමිණ  ඇති අතර මේ හේතුවෙන්  වාට්ටුවේ වෛද්‍ය කාර්ය මණ්ඩලය    පී සී ආර් පරීක්ෂණයට ලක් කළ බවද   රෝහල් ආරංචි මාර්ග පවසයි.

තමන් කොරෝනා ආසාදිතයකු යයි නොදැන  සිටි දරුවාගේ පියා ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලට, පිටකොටුවට මෙන්ම නාරාහේන්පිට  පෞද්ගලික රෝහලකටද  ගොස් ඇති අතර   භාණ්ඩ මිළදී ගැනීමට   සහ   විදේශ ගත වීමට අවශ්‍ය   ගුවන් ටිකට්පත් ලබා ගැනීමට   පිටකොටුව හා කොටුව ප්‍රදේශයට නිතර නිතර ගොස් ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය    කාර්යාල ආරංචි මාර්ග පවසයි.

මෙම තැනැත්තා ගිය ප්‍රදේශ, හා ඇසුරු කළ පුද්ගලයන්  සොයා සෞඛ්‍ය නිලධාරීන්  විශේෂ   විමර්ශනයක් ආරම්භ කර ඇති බවද එම ආරංචි මාර්ග පවසයි. ආසාදනයට ලක් වු පුද්ගලයා   අයි ඩී එච් රෝහලට ඇතුළත් කර ඇත.