පී.සී.ආර් පරීක්ෂණ දීපව්‍යාප්තව සිදුකිරීමට සැලැස්මක්


(අජන්ත කුමාර අගලකඩ)

කෝවිඩ් 19 වයිරසය ආසාදිත වූවන් හඳුනා ගැනීමේ පී.සී.ආර් පරීක්ෂණ දීපව්‍යාප්තව සිදුකිරීම සඳහා දිස්ත්‍රික්ක මට්ටමින් සැලැස්මක් සකස් කර ගෙන යන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ලංකාදිපයට පැවසීය.

එක් එක් දිස්ත්‍රික්ක වල කෝවිඩ් 19 වයිරසය ආසාදනය වූවන් වාර්තා වී ඇතත් මෙම වැඩපිළිවෙල යටතේ පී.සී.ආර් පරීක්ෂණ නිශ්චිත සංඛ්‍යාවක් අනිවාර්යයෙන්ම සිදුකිරන බවද ඔහු සඳහන් කළේය.

සෑම දිස්ත්‍රික්කයක් වෙනුවෙන්ම මෙම සැලැස්ම සකස් කරන බව කී විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන කමිටුව රැස්වී මේ පිළිබඳ තීන්දු තීරණ රැසක් ගත් බවද කීවේය.

එම සාකච්ඡාවට පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන් , දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන් හා ප්‍රාදේශීය අධ්‍යක්ෂවරුන් ද සහභාගි වූ බව හෙතෙම කීවේය.

මේ අතර පී.සී.ආර් පරීක්ෂණ එක්ලක්ෂ පනස් දහසක් අද (24) වනවිට සිදුකර අවසන් කළ බවද ඔහු සඳහන් කළේය.

කොවිඩ් 19 රෝගීන් වාර්තා වීමේ ප්‍රතිශතය මේ වනවිට සියයට 1.8 ක් දක්වා අඩුවී ඇති බවත් එය කලින් තිබුණේ සියයට 3 ක මට්ටමේ බවත් විශේෂඥ වෛද්‍ය ජාසිංහ මහතා පැවසීය.

මේ වනවිට පී.සී.ආර් පරීක්ෂණ 2,100 ක් පමණ දෛනිකව සිදුකරන බවද ඔහු කීවේය.