දින 5 ට පී.සී.ආර්. පරික්ෂණ 26000ක්


(විනීතා එම් ගමගේ)

මිනුවන්ගොඩ කොරෝනා පොකුර වාර්තා වීමෙන් පසු ඉකුත් පස්වැනිදා සිට මේ දක්වා පී.සී.ආර්. පරික්ෂණ 26000 කට ආසන්න ප්‍රමාණයක් සිදුකර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේය.

පී.සී.ආර්. පරික්ෂණයක් සිදුකරන්නේ එකී ආශ්‍රිතයා, රෝගියෙකුට නිරාවරණය වූ අයෙකුගේ බීජෝෂ්ණ සමය සළකා බලා යැයි ද එය දින දෙක සිට දහය දක්වා කාලය තුළ සිදුවන බැවින් සුදුසුම දිනයක එය සිදුකරන්නේ රෝගියාගේ තොරතුරු විමසීමෙන් අනතුරුව ගන්නා තින්දුවකින් පසුව යැයි ද වෛද්‍ය සමරවීර කියා සිටියේය.

එසේ ආසාදිතයන් යැයි සැකකරන පුද්ලයන් පිළිබඳ නිසි අවස්ථාවේ දී පරික්ෂණ සිදු නොකළහොත් පරික්ෂණයේ ප්‍රතිඵලය වෙනස් විය හැකි බවද ශරිරය තුළ වයිරසය තිබිය දී පවා එසේ නොමැති බවට ප්‍රතිපල ලැබෙන්නට ඉඩකඩ ඇතැයි හෙතෙම සඳහන් කළේය.

එබැවින් ගම්පහ ආශ්‍රීතයන් හඳුනාගත් වහා පී.සී.ආර්. පරික්ෂණයක් සිදුනොකිරීම පිළිබඳව කළබල නොවන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටි අධ්‍යක්ෂවරයා ආසාදිතයෙකුට නිරාවරණය වී යැයි සැක කරන හෝ එවැන්නෙක් ඇසුරු කර ඇති අයෙක් වේ නම් සෞඛ්‍ය අංශ දැනුවත් කරන ලෙස ඉල්ලා සිටින බවත් ඒ අනුව අවශ්‍ය පියවර සෞඛ්‍ය අංශ විසින් ගනු ලබන බවත් සඳහන් කළේය.