ගාල්ලේ සමෘද්ධිලාභින්ට කෝටියකට වැඩි සහන ණය


(ජේ.කේ.එල් චාමින්ද)

කොරෝනා වයිරස් තත්වය හේතුවෙන් සහන පියවර ණය වැඩසටහන යටතේ අද (26) දින ගාල්ල දිස්ත්‍රික්කයේ සමෘද්ධි ලාභින් 2778 දෙනෙකු සදහා රුපියල් එක්කොටි තිස් අට ලක්ෂ අනුහතර දහසක මුදලක් සමෘද්ධි බැංකු හරහා නිකුත් කළ බව ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි කළමණාකරු  ප්‍රියන්ත කාරියවසම්   මහතා පවසයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ සමෘද්ධි බැංකු 11 මගින්  සමෘද්ධි ප්‍රතිලාභින් සදහා මෙකි ණය මුදල ලබා දුන් බවත් මෙය පොලි රහිත ණය මුදලක් බවද දිස්ත්‍රික් සමෘද්ධි කළමණාකාරවරයා සදහන් කළේය.  

 සහන පියවර ණය වැඩසටහනේ මාස 06ක ණය සහන කාලයක් තියෙනවා. පොලි රහිත ණයක්. මාස 06ක් ගතවු පසු තමයි ණය ගෙවිමට අවශ්‍ය වන්නේ.  එක් ප්‍රතිලාභියෙකුයට රුපියල් 10000ක මුදලක් අදියර දෙකකින් ලබා දෙනවා. ගාල්ල දිස්ත්‍රික්කය තුල සමෘද්ධි බැංකු 68ක් තියෙනවා. අද දින බැංකු 68ම   ගණුදෙණුකරුවන් සදහා විවෘත කළා.  සමෘද්ධි බැංකු මගින් ණය ඉල්ලුම්පත් අද දින නිකුත් කළා. සමෘද්ධි බැංකු හෙට දිනය තුලද  විවෘත කරණවා  වසමේ සිටින සමෘද්ධි සංවර්ධන නිලධාරින් මගින්  හෙට දිනද මෙකි ණය මුදල ප්‍රතිලාභින්ට නිකුත් කරණවා. අද දින සියලුම සමෘද්ධි බැංකු මගින්  සමෘද්ධි සහනාධාර මුදල් ගෙවිම සිදුකළා යැයිද දිස්ත්‍රික් සමෘද්ධි කළමණාකාරවරයා සදහන් කළේය.