කොරෝනා ආසාදිතයින්ට තෙල් ආලේප කරන්න ගිය කොස්තාපල් අත්අඩංගුවට


නිමල් ජයරත්න

වැලිකන්ද කොවිඞ් 19 විශේෂ ප‍්‍රතිකාර මධ්‍යස්ථානයට අද(6) උදැසන 09.30 ට පමණ අනවසරයෙන් ඇතුලූ වී එහි ප‍්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන්ගේ හිසෙහි යම් තෙල් වර්ගයක් ආලේපනය කිරිමට උත්සහ ගත් පොලිස් කොස්තාපල්වරයකු එම රෝහලේ වෛද්‍යවරු මැදිහත් විමෙන් අල්ලා වැලිකන්ද පොලිසියට බාර දි ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා පස්සර පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කරන අතර ඔහු පස් වෙනිදා රාත‍්‍රි සේවා මුරය අවසන් කර වැලිකන්ද ප‍්‍රදේශයට යතුරු පැදියකින් පැමිණ ඇති බව සදහන් වේ.

අප මේ පිලිබදව පොළොන්නරුව මහරෝහලේ අධ්‍යක්ෂ සම්පත් ඉන්දික කුමාර මහතාගෙන් කල විමසිමකදි පැවසුවේ වෛද්‍යවරුන් විසින් අල්ලා ගත් මෙම පුද්ගලයා වැලිකන්ද පොලිසිය වෙත භාර දුන් බවයි.

අත්අඩංගුවට පත්ව සිටින පොලිස් කොස්තාපල්වරයා යුද හමුදාවේ මැදිහත් විමෙන් පූනානි නිරෝධායන මුලස්ථානයට නිරෝධායන කටයුතු සදහා ඇතුලත් කිරිමට පියවර ගෙන තිබෙන බව නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ උසස් හමුදා නිලධාරියෙකු පැවසිය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ පස්සර කිරිමැටිය පදිංචි පොලිස් කොස්තාපල්වරයෙකි.