කොකුපණු රෝගයෙන් දස මස් දරුවකු මරුට


(විනීතා එම් ගමගේ) 

කොකු පණු රෝගය හේතුවෙන් ඇතිවූ රක්තහීනතාවෙන්  ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි මාස දහයක් වයසැති බිළිඳකු මරණයට පත්ව ඇතැයි වාර්තා වෙයි.

මෙම දරුවාගේ මරණය පිළිබද හදිසි මරණ පරික්ෂණය පැවැත්වූ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි රුහුල් හක් මහතා එම බිළිඳාගේ සහෝදර සහෝදරියන්ට ඉක්මණින් පණු බෙහෙත් ලබා දෙන ලෙස මව්පියන්ට උපදෙස් දුන්නේය.

මියගිය බිළිඳාගේ මව 36 හැවිරිදි බවත් ඇයට දරුවන් සත් දෙනකු සිටින අතර වැඩිමහල් දරුවා 12 හැවිරිදි වියේ පසුවන බවත් මියගිය දරුවා බාලයා බවත් එම මරණ පරික්ෂණයේ දී හෙළිවිය.

දරුවාගේ මුඛයෙන් අඩි දෙකක් පමණ දිගැති පණුවන් එළියට පැමිණිමත්, මළපහ සමගත් පණුවන් එළියට පැමිණිමත් නිසා දරුවා ළමා රෝහලට රැගෙන ආ අතර එහි දී මිය ගිය බව මියගිය බිළිඳාගේ පියා කොළඹ නාගරික හදිසි මරණ පරික්ෂක ඉරේෂා සමරවීර මහත්මිය ඉදිරියේ සාක්ෂිදෙමින් කියා සිටියේය.

වර්තමානයේ පවතින සෞඛ්‍ය පහසුකම් සමග මෙවැනි තත්ත්තවයක් තිබිම විශ්වාස කල නොහැකි බවත් පහසුකම් අඩු කුඩා නිවසක ඉතා විශාල පිරිසක් ජීවත් වීම මෙම තත්ත්වයට හේතුව බවත් මරණය සම්බන්ධ තීන්දුව දෙමින් හදිසි මරණ පරික්ෂකවරිය සදහන් කළාය. කෙසේ වෙතත් මාස දහයක් වන දරුවෙකුට මේ තරම් බරපතල අන්දමින් කොකුපණු ‍රෝගය වැලඳී තිබිීම ද විරල කරුණකැයි ඇය සිය වාර්තාවේ සඳහන් කර තිබිණි.

ග්‍රෑන්ඩ්පාස් ගැමුණු පටුමග ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මෙම බිළිඳාගේ මව්පියන් මරණ පරික්ෂකවරියගෙන් ඉල්ලා සිටියේ මෘතශරීරය නොකපන ලෙසය. එහෙත් එය නීතිවි‍රෝධී වන බැවින්ද මරණ්‍යට හේතුව හෙළි කරගත යුතුබැවින් ද පශ්චාත් මරණ පරික්ෂණයක් කළ යුතු බව පෙන්වා දුන් ඇය පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීමට නියම කළාය.