(එච් .චන්දන)
කල්පිටිය - මොහෙත්තුවාරම දූපතේ නාවික හමුදා කඳවුරක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව කල්පිටිය පොලිසිය කියයි.
ඊයේ (28) වැනිදා රාත්‍රී 12.00 ට පමණ මෙම වෙඩි තැබීම සිදුවී ඇති බව පොලිසිය පැවසීය.
වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ නාවික හමුදාවේ සුළු නිලධාරියෙක් බව පොලිසිය සඳහන් කළේය.
සිද්ධියෙන් තුවාල ලැබූ අනෙක් දෙදෙනා ප්‍රතිකාර සඳහා කල්පිටිය දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට මාරු කර යවා ඇත.
වෙඩි තැබීම සිදු කළ බව කියන නාවික හමුදා සෙබළෙකු ගිනි අවියක්ද සමඟ පලා ගොස් ඇති බවත් ඔහු මොහෙත්තුවාරම දූපතේ ඇති කඩොල් කැලෑවක් තුළ සැඟවී සිටින බවට තොරතුරු ලැබී ඇති බවත් කල්පිටිය පොලිසිය පැවසීය.
නාවික හමුදාවේ කණ්ඩායම් කිහිපයක්ම ඔහු සොයා ගැනීමට විමර්ශනයක් ආරම්භ කර ඇති බවද පොලිසිය කීය.
රාජකාරි ගැටළුවක් සම්බන්ධයෙන් ඇති වූ බහින් බස්වීමකින් දුරදිග ගොස් අනතුරුව මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව මූලික විමර්ශන වලදී හෙළිවී තිබේ.

