හිටපු ඇමැති සරත් කුමාරට එරෙහි නඩුව අගෝස්තු 05ට කල්යයි


මනෝප්‍රිය ගුණසේකර 
 
මීගමු කලපු සංවර්ධනයට මහා භාණ්ඩාගාරයෙන් ලබා දුන් රුපියල් කෝටියකට අධික මුදලක් අවභාවිතා කරමින් පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අවසන් රැළිය මීගමු නගර සභා ක‍්‍රීඩාංගනයේ පැවැත්වූ බවට හිටපු ධීවර කටයුතු නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු හයදෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණ දෙකක පවරා ඇති  නඩු ලබන අගොස්තු 05 වැනිදා යළි කැඳවීමට මහාධිකරණ විනිසුරුවරු   අද  නියම කළහ.
 
ධීවර කටයුතු නියෝජ්‍ය ඇමතිවරයාව සිටි සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු පිරිසකට එරෙහිව වෙන වෙනම පවරා ඇති නඩු කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සැළකිල්ලට ගනිමින් විනිසුරුවරු  එලෙස නියම කළහ.
 
මෙම නඩු කැඳවනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහෙන්ද්‍රන් මහතා සහ ප‍්‍රදීප් හෙට්ටිආරච්චි මහතා  ඉදිරියේය.
 
නඩු කැඳවූ අවස්ථාවේ දී   චන්දන පැල්පිට, පියල් අබේසේකර, හිටපු ධීවර කටයුතු නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්න, ඔහුගේ බෑණා වන උපුල් චමින්ද පෙරේරා කුමාරසිංහ, ධීවර සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ ලක්මිණ මුනිදාස යන පිරිස අධිකරණයේ පෙනී සිටියහ.
 
බරපතල සංචා සහ දුෂණ විමර්ශන කොමිසම හමුවේ මුලින්ම මේ පිළිබඳ තොරතුරු හෙළි වූ අතර එහි නිර්දේශ මත රහස් පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශනයකින් අනතුරුව නිතීපතිවරයා  විත්තිකරුවන්ට   එරෙහිව   මෙලෙස අධිචෝදනා ගොනු කොට ඇත.
 
බරපතල වංචා සහ දුෂණ සිද්ධීන් සෙවීම සඳහා පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසමේ නිර්දේශ මත පවරන ලද මුල්ම නඩුව මෙයයි.
 
2014 නොවැම්බර් මස 20 වැනිදාත් 2015 ජනවාරී මස 07 වැනිදාත් අතර කාලය තුළ කොළඹ හා මීගමුවේදී ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව බාරයේ තිබු රජයට අයත් රුපියල් 112,78,000 ක් වංක ලෙස සිය ප‍්‍රයෝජනයට ගැනීම සඳහා කුමන්ත‍්‍රණය කළ බවට සියලුම විත්තිකරුවන්ට  එරෙහිව  නීතිපතිවරයා විසින් චෝදනා නඟා ඇත.