ෆිච් රේටින්ග්ස් මූල්‍ය සමාගම් තුනක ණය ශ්‍රේණිගත කිරීම් නොවෙනස්ව පවත්වා ගනී


භානුක අමරසිංහ


ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය මෙරට බැංකු නොවන මූල්‍ය සමාගම් තුනක ජාතික දිගුකාලීන ණය ශ්‍රේණිගත කිරීම් දැනට පවතින මට්ටමේම පවත්වාගෙන යන බව ප්‍රකාශ කර සිටියි. 
ඒ අනුව සෙංකඩගල ෆිනෑන්ස් සමාගමේ දැනට ඇති BBB(lka)  ශ්‍රේණිගත කිරීම, මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ දැනට ඇති BBB(lka) ශ්‍රේණිගත කිරීම සහ ෆින්ට්‍රකේස් ෆිනෑන්ස් සමාගමේ දැනට ඇති BBB(lka)  ශ්‍රේණිගත කිරීම මෙලෙස එම මට්ටමේම පවත්වාගෙන යාමට තීරණය කර තිබෙන බව එම ආයතනය පවසයි.
මේ අතරින් සෙංකඩගල ෆිනෑන්ස් සමාගමේ ශ්‍රේණිගත කිරීම මගින් එම සමාගම ණය සහ තැන්පතු සම්බන්ධව පිළිවෙළින් සියයට 2 සහ 1.2 ක් ලෙස පවත්වාගෙන යන වෙළෙඳපොළ පංගුව පිළිබිඹු වන බව එම ආයතනය පවසයි. වඩාත් අවදානම් සහගත පාරිභෝගික අංශ වෙත මෙන්ම මෝටර් රථ අංශය වෙතද එම සමාගමේ නිරාවරණයවීම ඉහළ යාමක්ද මින් පෙන්නුම් කරන බවත් ඔවුන් පවසයි. 
එසේම මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ ශ්‍රේණිගත කිරීම මගින් එය ණය සහ තැන්පතු සම්බන්ධයෙන් හිමි කරගෙන තිබෙන සියයට 3ත් 4ත් අතර වෙළෙඳපොළ පංගුවේ ඉහළ යාම පෙන්නුම් කරන බව ෆිච් රේටින්ග්ස් සඳහන් කරයි.