හේමාස් සමූහය කෙන්යානු සමාගමක් මිලදී ගැනීමට යයි


  • ගනුදෙනුව සම්පූර්ණවීමට නම් කෙන්යාවේ තරගකාරීත්ව අධිකාරියේ මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේද අනුමැතිය හිමිවිය යුතුයි

භානුක අමරසිංහ

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහය කෙන්යාවේ පිහිටි පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන සමාගමක වැඩි කොටස් හිමිකාරීත්වයක් අත්පත් කරගැනීම සඳහා වන එකඟතාවකට පිවිසි බව පවසයි. ඊයේ (25) දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් එම සමාගම මේ බව සඳහන් කර තිබේ. මෙම කෙන්යානු සමාගම කුමක්ද යන්න පිළිබඳව එම සමූහය අනාවරණය කර නැත. 

කෙසේ වෙතත් මෙම ගනුදෙනුව සම්පූර්ණවීමට නම් කෙන්යාවේ තරගකාරීත්ව අධිකාරියේ මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේද අනුමැතිය හිමිවිය යුතුව තිබෙන බව හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී පවසයි. එසේම කෙන්යාවේ පවතින අනෙකුත් පාරිභෝගික කොන්දේසි සම්පූර්ණ කිරීමද අවශ්‍ය බව සමාගම සඳහන් කරයි. ඒ අනුව ඉදිරි මාස හයක කාලය තුළදී මෙම ගනුදෙනුව අවසන් කිරිම හේමාස් සමූහයේ බලාපොරොත්තුව වී තිබේ.

හේමාස් සමූහය සිය ගෝලීය පියසටහන පුළුල් කිරීමේ අවස්ථාවක් ලෙස 2023 වසරේදී පළමුවරට කෙන්යානු වෙළෙඳපොළ වෙත පිවිසීම පිළිබඳ අවධානයෙන් පසුවිය. එහිදී සමූහයේ නියෝජිත කණ්ඩායමක් නයිරෝබි නුවර පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට ගොස් මහ කොමසාරිස්වරයාද හමු විය. එසේම ඔවුන් කෙන්යානු සමාගම් කිහිපයක් සමගින් සාර්ථක සාකච්ඡා පැවැත් වූ බවත් සඳහන් විය.