මෙරට කර්මාන්ත ප්‍රතිපත්තිය ආරම්භ වූයේ 1956න් පසුවය. බණ්ඩාරනායක රජය විදේශ විනිමය එතෙරට ඇදී යාම වළක්වා ගැනීම සඳහා ආනයනය කරන භාණ්ඩ රට තුළම නිපදවා ගැනීමට කර්මාන්ත ගණනාවක් ඇරඹුවේය. එකල ආර්ථික විද්‍යාඥයන් මෙම ක්‍රමය හඳුන්වා දුන්නේ ‘ආයාත ආදේශන කර්මාන්ත ප්‍රතිපත්තිය’ යනුවෙනි. ආනයනික භාණ්ඩ සඳහා මෙරට ආදේශක භාණ්ඩ නිෂ්පාදනය කිරීම යන්න එහි තේරුමය. 1956 සිට 1965 දක්වා පැවැති බණ්ඩාරනායක රජය මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළේය. 1962දී මෙයට අමතරව බැර කර්මාන්ත ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වූයේ යකඩ, වානේ, ටයර්, සිමෙන්ති නිපදවන විශාල කර්මාන්ත ශාලා ආරම්භ කිරීමෙනි.
1956 ආරම්භ වූ ආයාත ආදේශන කර්මාන්ත ආරම්භ කළේ පෞද්ගලික අංශය ය. මේ නිසා ආහාරපාන, රෙදිපිළි, සපත්තු, ලෝහ භාණ්ඩ, ගුවන් විදුලි යන්ත්‍ර ආදිය නිපදවන සමාගම් 1962ත් 1969 වසර වන විට මෙරට අලුතෙන් ආරම්භ වී තිබිණ. මෙම ප්‍රතිපත්තිය යටතේ ආරම්භ වූ බොහෝ ආයතන එකල ලාබ ලැබූවද 1970 රජය වන විට අමුද්‍රව්‍ය ආනයනය සීමා කිරීම නිසා මෙම ආයතන විශාල සංඛ්‍යාවක් වසා දමන්නට සිදුවිය.
දශක ගණනාවක්ම එක් රජයකින් ආරම්භ කර තවත් රජයකින් වසා දමන්නට හෝ විකුණා දමන්නට සිදුවූ ආයතන මෙරට ජාතික ධනය උරාබීවේය. වැඩෙමින් තිබූ මෙරට පෞද්ගලික අංශය නැති කර දැම්මේ ‘‘ගෞරවය’’ ශ්‍රීලනිප ආණ්ඩුවලට ද ලාබ ලබමින් තිබූ රාජ්‍ය ආයතන තම ගජ මිතුරන්ට විකුණා දැමීමේ ‘‘ගෞරවය’’ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවලට ද ලැබිය යුතුය.
මෙම විකුණා දැමීම පසුකාලීනව අර්ථ විග්‍රහ වූයේ පෞද්ගලීකරණය හෝ ජනතාකරණය යන නම්වලිනි.
තෙල් හා මේද සංස්ථාව එසේ බලහත්කාරයෙන් පාඩු ලැබීමට සලස්වා ගජමිතුරන්ට විකුණා දැමූ රාජ්‍ය ආයතනයකි. පොල් සිඳීමෙන් ඉවත් කෙරෙන පුන්නක්කුවල ඉතිරිවී ඇති තෙල් නිස්සාරණය කර ගැනීම සඳහා තෙල් හා මේද සංස්ථාව යටතේ සීදූවේ යන්ත්‍රාගාරයක් ඉදිකරන ලද්දේ 1961දී පමණය. තෙල් නිස්සාරණය කිරීමේ අතුරු ඵලයක් ලෙස ඉතිරිව පොල් පුන්නක්කු පිටි ප්‍රෝටීන් අධික ආහාරයක් විය. මේවා විවිධ ආහාරවර්ග සැකසීම සඳහා ගනු ලැබණි. මෙම ප්‍රෝටීන අධික පුන්නක්කු පිටි සඳහා විදේශයෙන්ද විශාල ඉල්ලුමක් තිබුණේ මෙරට පොල්වල පෝෂණ ගුණය අන් රටවලට වඩා ඉහළ නිසාය.
1964 වර්ෂයේ සිට තෙල් හා මේද සංස්ථාව මෙම ක්‍රමයටම තල තෙල් සිඳීමද ආරම්භ කළේය. මෙ අතුරු ඵලයක් වූ නිස්සාරණය කරන ලද තල පුන්නක්කු පිටිද ප්‍රෝටීන අධික ආහාරයක් විය. එසේ වුවත් මෙම ආයතනවල සේවකයන් ලෙස විවිධ ආණ්ඩු විසින් පුරවන ලද සේවකයන් හේතුවෙන එම ආයතනයේ ලාබ අඩුවී වියදම වැඩිවෙමින් තිබුණේය.
ඉන්පසුව 1977 බලයට ආ එජාප රජය එවකට ඇමැතිවරයා වූ තොණ්ඩමාන් යටතේ තෙල් හා මේද සංස්ථාව පෞද්ගලික බවට පත් කළේය. පළමුව වාණිජ ආයතනයක් බවට නම් කර සියලු කොටස් හිමිකම රජයට අත්පත් කරගත්තේය. ඉන්පසු වයස අවුරුදු 55 වැඩි සියලු දෙනා අනිවාර්යයෙන් විශ්‍රාම ගැන්වීය. රජය අලුතෙන් සේවකයන් බඳවා ගත්තේද නැත. ඒ සමගම ත්‍රිකුණාමලයේ ප්‍රීමා නමැති බහුජාතික සමාගමට මහා පරිමාණ ඇඹරුම් මෝලක් සවි කිරීමට අවසර ලැබිණි. එය එකල විශාල ආයෝජනයක් විය. ගව ආහාර නිෂ්පාදනවීම, තිරිඟු ඇට පිටි කිරීම ආදී කටයුතු එහි ආරම්භ විය. එය ආරම්භ කළ අවධියේ කුකුළු කෑම හා ගව ආහාර ආදිය ද නිෂ්පාදනය කෙරිණි. තෙල් හා මේද සමාගමේ වැඩ නැවතීමත් සමග කුකුල් කෑම හා ගව ආහාර ආදිය නිෂ්පාදනයේ ඒකාධිකාරිය එම බහුජාතික සමාගමට ලැබිණි. ජේ.ආර්. ජයවර්ධන රජය සමයේ ආණ්ඩුවට නොමිලේ තිරිඟු පිටි කොටාදීමේ ගිවිසුමකටද එම සමාගම සමග එළැඹුණු අතර, තිරිගු පිටි රජයටත්, තිරිඟු නිවුඩ්ඩ එම සමාගමටත් හිමිවන පරිදි එම ගිවිසුම අත්සන් කෙරිණි. තිරිඟු ඇටයේ පෝෂණීයම කොටස වන්නේ නිවුඩ්ඩය. මෙම නිවුඩ්ඩ ඔවුන්ට නොමිලේ ලැබුණු අතර, ජනතාව ලෙඩ කරන පිටි පමණක් රජයට ලැබිණි. අවසානයේ ධාන්‍යමය ආහාර ලෙස මෙම නිවුඩ්ඩ යොදා සැකසූ ආහාර ඉහළ මිලකට මෙරට වෙළෙඳපොළ තුළ අලෙවි කිරීමෙන් ද විදේශීය සමාගම් පොහොසත් විය.
1980න් ඇරැඹුණු දශකයේදී ද කර්මාන්ත ගණනාවක් ආරම්භ විය. එමගින් අපනයන මෙහෙයුම් කර්මාන්ත ප්‍රමාණය ඉහළ ගියේය. විදේශීය කර්මාන්ත ගණනාවක් නිදහස් වෙළෙඳ කලාප තුළ ආයෝජන ඇරඹුවේය. එහෙත් නිදහස් ආර්ථිකය යටතේ භාණ්ඩ ගලා ඒමත් සමග කාර්යක්ෂමතාවයෙන් ඌන කර්මාන්තවලට වැසී යාමට සිදුවිය.
1977 ආර්ථික ප්‍රතිසංස්කරණවලට පෙර දැඩි ආනයන පාලන විදේශ විනිමය සීමා කිරීම් හා ඉහළ තීරු බදු මගින් කර්මාන්ත විශාල වශයෙන් ආරක්ෂා වී තිබුණි. දිගු කාලයක් තිස්සේ අඛණ්ඩව පැවැති මෙම සීමා කිරීම් මගින් බොහෝදුරට දිරි ගන්වනු ලැබුවේ දේශීය වෙළෙඳපොළට නැඹුරු වූ කාර්මික අංශයකි. මෙම පියවර නිසා බොහෝ විට අකාර්යක්ෂම කර්මාන්ත ආරක්ෂාකාරී වූ අතර, එමගින් විදේශ ආයෝජන ගලා ඒම අවහිර කෙරිණි. කර්මාන්ත අංශයේ විශාල පරිමාණ ආයෝජන ද අධෛර්යවත් කෙරිණි. මෙම ඒකාධිකාරය යටතේ යම් බඩු භාණ්ඩ මෙරට නිපදවුවද, නිදහස් ආර්ථික සුළඟත් සමග ගලා ආ භාණ්ඩ ප්‍රවාහයට හසුවී මෙම කර්මාන්ත බිමටම සමතලා විය.
මෙරට නිසි කර්මාන්ත ප්‍රතිපත්තියක් නොමැතිවීම නිසා විනාශ වී ගිය සාර්ථක දේශීය කර්මාන්තයක් වන්නේ රෙදිපිළි කර්මාන්තයයි. රජයට අයත් රෙදිපිළි කර්මාන්ත ශාලාවල මෙන්ම පෞද්ගලික අංශයේ රෙදිපිළි කම්හල්වලද නූල් හා රෙදිපිළි නිෂ්පාදනය විශාල වශයෙන් අඩුවීමට නිදහස් ආර්ථිකය බලපෑවේය. උසස් වර්ගයේ රෙදිපිළි සඳහා ප්‍රකට රටවලින් සැප පහසු නවීන රෙදි ආනයනය කිරීමත් සමග මෙරට රළු ගොරෝසු රෙදිපිළි විකිණීම ඇනහිටි අතර, එම කර්මාන්ත ඉතා කෙටි කලකින් විනාශ විය. එකල ජාතික පේෂකර්ම සංස්ථාවට අයත්ව තිබූ පෙහෙකම්හල් පහම ඉතාම කෙටි කලකින් වැසී ගියේය.
තුල්හිරිය පෙහෙකම්හල හඳුන්වා දුන්නේ අග්නිදිග ආසියාවේ විශාලතම පෙහෙකම්හල වශයෙනි. අග්නිදිග ආසියාව යනුවෙන් හඳුන්වන්නේ ඉන්දුනීසියාව, මැලේසියාව ඇතුළු විශාල රාජ්‍ය ඇති කලාපය ය. එවැනි රටවලත් නොමැති විශාල පෙහෙකම්හලක් ලෝක සිතියමේ ලංකාව වැනි ඉතා කුඩා රටක ස්ථාපනය කිරීමේ ප්‍රතිඵලය වූයේ අමුද්‍රව්‍ය නොමැතිවීම හේතුවෙන් සමාජවාදී රටකින් තෑගි ලැබුණු එම විශාල පෙහෙකම්හල ඉතා කෙටි කලකින් දිරූ යකඩ ගොඩක් බවට පත්ව වැසී යාමය. පෙහෙකම්හලක් ක්‍රියාත්මක වීමට ප්‍රධාන අමුද්‍රව්‍ය වශයෙන් නූල් අවශ්‍ය වුවත් ලංකාවේ විධිමත් කපු වගාවක් තිබුණේ නැත. හම්බන්තොට ප්‍රදේශයේ සුළු වශයෙන් හේන් වගාව ආශ්‍රිතව කපු වගාවක් තිබුණ ද එම කපු නිෂ්පාදනය වැල්ලවත්ත පෙහෙකම්හලේ යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා මිලදී ගැනුණි. තුල්හිරිය අසාර්ථකවීමට තවත් හේතුවක් වූයේ කිසිම කාර්මික දැනීමක් නොමැති දේශපාලන අතවැසියන් බලයට පත්වන සෑම ආණ්ඩුවක් විසින්ම තුල්හිරිය ශ්‍රමිකයන් ලෙස බඳවා ගැනීමය. මේ පිරිසට පෙහෙකම්හලක සේවකයන් ලෙස දැනුමක් තිබුණේ නැත. එහි ප්‍රතිඵලය වූයේ කම්හල ඉතා කෙටි කලකින් වැසී ගොස් දිරූ යකඩවලට විකුණා දැමීමට සිදුවීමය.
1980 - 85 වර්ෂ අතරදී මෙරට පිබිදෙමින් තිබූ කුඩා පරිමාණයේ කර්මාන්ත ව්‍යවසාය රැසක් වැසී ගියේ අලෙවිකරණය පිළිබඳ දුෂ්කරතා, ප්‍රාග්ධනය හිඟකම, අධික පිරිවැය හා අමුද්‍රව්‍ය නොමැතිවීම වැනි කරුණු හේතුවෙනි. අත්යන්ත්‍ර රෙදිපිළි අතින් සෑදූ කඩදාසි, රසායනික ද්‍රව්‍ය, සබන්, තීන්ත වර්ග හා සකස් කළ ලෝහ භාණ්ඩ ඒ අතර වෙයි.
අමුද්‍රව්‍ය තිබූ කාලයේ ආරම්භ කර අමුද්‍රව්‍ය නොමැතිවීම නිසා වසා දැමූ ප්‍රධාන පෙළේ කර්මාන්තයක් වන්නේ සපුගස්කන්දේ පිහිටුවා තිබූ යූරියා පොහොර කම්හලය. 1981දී මෙට්‍රික් ටොන් 21700ක යූරියා එම කම්හලේ නිෂ්පාදනය කළේ සපුගස්කන්දේ ඛනිජ තෙල් පිරිපහදුව මගින් ලබා දුන් අමුද්‍රව්‍ය යොදවමිනි. යූරියා පොහොර නිපදවන්නේ ඛනිජ තෙල් පිරිපහදුවේ අතුරු ඵලයක් ලෙසිනි. වසර ගණනාවකට පසු සපුගස්කන්ද තෙල් පිරිපහදුව ද අසීරුවට පත්වූයේ මැදපෙරදිග යුද ගැටුම් සහ බටහිර රටවල සම්බාධක ආදියෙන් මෙරට ඛනිජ තෙල් පිරිපහදුවට තෙල් හිඟවීම නිසාය. ඉන් පසුව මෙරට රජය ඛනිජ තෙල් පිරිපහදුව සඳහා බොර තෙල් ගෙන්වීම සීමා කර, පිරිපහදු කළ ඩීසල් සහ පෙට්‍රල් ආනයනය ඇරඹීය. ඒ සමගම අමුද්‍රව්‍ය හිඟවීමෙන් යූරියා පොහොර කම්හලේ අවසානය උදාවිය.
ලංකාවේ ව්‍යාපාර ලෙස සිදුවන්නේ යම් ආයතනයක ලාබය දකින තවත් අයෙක් එවැනිම ව්‍යාපාරයක් ආරම්භ කිරීමය. මෙහිදී සැපයුමට සාපේක්ෂව ඉල්ලුම වැඩි නොවීමෙන් ව්‍යාපාර දෙකම කඩාවැටෙයි. ගොවිතැන ලෙස මෙරට සිදුවන්නේ එයමය. යම් පළාතක ගොවීන් පිරිසක් එක් කන්නයක තක්කාලි වගාවෙන් වැඩි අස්වැන්නක් හෝ ලාබයක් ලබාගත හොත් මීළඟ කන්නයේ රටේම ගොවීහු තක්කාලි වගා කරති. එවිට අස්වනු සුලබවී විකුණාගත නොහැකිව විශාල තොග ඉවත විසි කිරීමට සිදුවේ. ව්‍යාපාරද ආරම්භ වන්නේ ව්‍යාපාරිකයන්ට අවශ්‍ය ආකාරයටය. මෙය වැරැදි ප්‍රතිපත්තියකි. දියුණු රටවල එසේ වන්නේ නැත.
ජපානය, ඇමරිකාව වැනි රටවල තමන්ට සිතුණු විට ව්‍යාපාර ආරම්භ කළ නොහැකිය. ඒ සඳහා රජයෙන් බලපත්‍රයක් ලබා ගත යුතුය.
චොක්ලට් නිපදවන්නේ නම් රටේ ඉල්ලුම අනුව අවශ්‍ය කම්හල් ප්‍රමාණය රජය තීරණය කරයි. ඉල්ලුමට සැපයුම සැපිරී ඇති නම් අලුතෙන් චොක්ලට් කර්මාන්ත ශාලා ඇරඹිය නොහැකිය. එවිට රටේ චොක්ලට් කර්මාන්තය ඇදවැටීමකින් තොරව පවත්වාගෙන යා හැකිය. මිල පාලනය කිරීම සඳහා රජය විදේශයෙන්ද යම් ප්‍රමාණයක් ගෙන්වා ජනතාවට වැඩි මිලට චොක්ලට් විකිණීම නතර කරවයි. තමන්ගේ අතිරික්තය රට පැටවීමට ද එම කර්මාන්තවලට පුළුවන.
එහෙත් ලංකාවේ සිදුවන්නේ එය නොවේ. එක් සමාගමක් ලාබ ලබන විට හිතුමතයට තවත් සමාගමක් අරඹා මුළු කර්මාන්තයම විනාශ කිරීමය. රජයේ නියාමනයක් අවශ්‍ය වන්නේ හිතූ හැටියට එකම නිෂ්පාදනයට වැඩි සමාගම් ප්‍රමාණයක් බිහිවීම නවත්වා දැමීම සඳහාය.
ඇමරිකාවේ කර්මාන්ත ප්‍රතිපත්තිය පාලනය කරනු ලබන්නේ රජය නොව කර්මාන්තකරුවන් විසිනි. මෙම කර්මාන්තකරුවන් හිතුමතේ ව්‍යාපාර අරඹන්නේ නැත. ඉල්ලුම හා සැපයුම පිළිබඳව ලොව ප්‍රකට සරසවිවල ආර්ථික විද්‍යා මහාචාර්යවරුන්ගේ උපදෙස් ඔවුන්ට ලැබේ. ඒ අනුව කර්මාන්ත ප්‍රතිපත්ති සැකසෙයි. අලුත් ව්‍යාපාර බිහිවුවත් ඒ පවතින ව්‍යාපාරයක් සමග හැප්පෙන තරගකාරි ව්‍යාපාරයක් නොවේ. රජයද කර්මාන්තකරුවන්ද කර්මාන්ත පවත්වාගෙන යා යුතු ආකාරය හොඳින් දකිති. රජය කර්මාන්තකරුවන්ට එම ආයතන පවත්වාගෙන යාම සඳහා මූල්‍ය සහාය ඇතුළු ආධාර කරන අතර, කර්මාන්තකරුවෝ රටේ පමණක් නොව ලොව බොහෝ රටවල් කරා ද ව්‍යාප්තවෙමින් ආදායම් ලබා ඇමෙරිකාවේ ආර්ථික වර්ධනයට උපකාර කරති. චීනයේ සිදුවන්නේ ද එවැනිම තත්වයකි. අප රටට එවැනි තත්වයක් ළඟා කර ගත නොහැකි මුත්, රට තුළ අමුද්‍රව්‍ය නොමැති නිසා මෙරට තුළ කළ හැකි ව්‍යාපාර හඳුනාගෙන එම ව්‍යාපාර දියුණු කිරීමට ක්‍රමෝපායක් මෙරට ඇති කරගත යුතුය.
අප යෝජනා කරන්නේ මහාපරිමාණ කර්මාන්ත වෙනුවට කුඩාකර්මාන්ත ප්‍රවර්ධනය කිරීමට රජය පියවර ගත යුතු බවය. මේ වන විට වයඹ පළාත ආශ්‍රිතව ප්ලාස්ටික් නිෂ්පාදන කර්මාන්තශාලා ගණනාවක්ම ක්‍රියාත්මක වෙයි. මෙම කර්මාන්තය රැකගැනීමට නම් නිමි ප්ලාස්ටික් නිෂ්පාදනය ආනයනය සීමා කළ යුතුය. එවිට උසස් තත්වයේ ප්ලාස්ටික් නිෂ්පාදන තවත් ව්‍යාපාර කිහිපයකදී එම කර්මාන්ත ශාලාවලින් බිහිවනු ඇත. මෙරටින් ඉතා අඩු මුදලට ඉන්දියාවට විකුණන පුවක් අගය එකතු කළ භාණ්ඩ ලෙස තීන්ත වැනි නිෂ්පාදන ලෙස යළිත් මෙරටටම විකිණෙන්නේ අමුද්‍රව්‍ය ලෙස පුවක් විකිණූ මිලට වඩා හතර පස් ගුණයක් ඉහළ මිලකටය. ඒ නිසා මෙරටදීම පුවක් සාරය නිෂ්පාදනය කර අගය එකතු කළ නිෂ්පාදනයක් ලෙස ඉන්දියාවට අපනයනය කළ හැකි නම් වැඩි විදේශ විනිමයක් මෙරටට උපයා ගත හැකිය. එවැනි බොහෝ කුඩා කර්මාන්ත මෙරට වල්වැදෙමින් තිබේ. එම කුඩා කර්මාන්තවලට පණ දෙන ප්‍රතිපත්තියක් සකස් කර ගත හැකි නම් අපගේ විනිමය සංචිතය තර වනු ඇත.