
CMA CGM නියෝජිතයන් වරාය නිලධාරීන් සමග

HIP නිලධාරීන් සමග එවර්ග්‍රීන් නියෝජිත පිරිස
ලොව ප්‍රමුඛ පෙළේ බහාලුම් නැව් සමාගම් දෙකක ජ්‍යෙෂ්ඨ නියෝජිතයෝ පසුගිය සතියේ හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) සංචාරයක නිරතවූහ. මෙම නියෝජිතයන් හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) කළමනාකාරීත්වය විසින් පිළිගත් අතර ඔවුන්ගේ පැමිණීම, මැද පෙරදිග අස්ථාවරතාවය හේතුවෙන් වෙනස් වන ගෝලීය වෙළෙඳ රටාව මධ්‍යයේ වරාය කෙරෙහි වැඩෙමින් පවතින වාණිජ්‍ය උනන්දුව මනාව පිළිඹිබු කරයි.
HIP නිලධාරීන් සඳහන් කළේ, CMA CGM සමාගමේ විදේශ කාර්යාල නිලධාරීන් සහ එවර්ග්‍රීන් මැරීන් සමාගමේ ශ්‍රී ලංකා නියෝජිතයන්, වරාය හරහා නව බහාලුම් සේවා ආරම්භ කිරීමේ හැකියාව සම්බන්ධයෙන් කළමනාකාරීත්වය සමග සාකච්ඡා පැවැත්වූ බවයි.
සාම්ප්‍රදායික නැව් මාර්ග, මැද පෙරදිග පවතින උණුසුම් තත්වය හේතුවෙන් අධික පීඩනයට පත් වීමත් සමග, ගෝලීය නැව් සමාගම් රැසක් සිය ප්‍රවාහන මාර්ග යළි සමාලෝචනය කරමින් සිටී. මේ තත්වය නිසා ප්‍රධාන නැගෙනහිර-බටහිර නාවික මාර්ගයට නාවික සැතපුම් 10ක් පමණ ආසන්නයෙන් පිහිටි හම්බන්තොට ජාත්‍යන්තර වරාය, කලාපයේ විකල්ප ප්‍රධාන වරාය මධ්‍යස්ථානයක් ලෙස ඉදිරියට එමින් සිටී.
වත්මන් පරිසරය තුළ නැව් සමාගම් කිහිපයක් හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ධාරිතාව, භාණ්ඩ හැසිරවීමේ කාර්යක්ෂමතාව සහ අංගන ධාරිතාව පිළිබඳ අවධානය යොමු කර ඇති බව නැව් කර්මාන්ත නිරීක්ෂකයෝ පවසති.
වරායේ පුළුල් වන යටිතල පහසුකම්, වැඩි කර ඇති බහාලුම් අංගන පහසුකම් ඇතුළු හැසිරවීමේ යන්ත්‍රෝපකරණ සඳහා නිරතුරුව කරන ආයෝජන, වේගයෙන් වෙනස්වන ඉල්ලුම් සඳහා ප්‍රතිචාර දැක්වීමට වරාය හොඳින් ස්ථානගත කර ඇති බව HIPG නිලධාරීන් පෙන්වා දෙයි.
ගෝලීය නැව් කර්මාන්තයේ ව්‍යුහමය වෙනස්කම් වලට තුඩු දෙන භූ දේශපාලන අවදානම්, සාම්ප්‍රදායික නැව් මාර්ග වෙනස්වීම් සහ වරාය කාර්යක්ෂමතාව වැනි කරුණු, කර්මාන්ත ජාලයේ තීරණ සඳහා වැඩි වශයෙන් බලපායි. නව ලයිනර් සේවා ආකර්ෂණය කරගැනීමටත්, ඉන්දියන් සාගර සැපයුම් පරිසර පද්ධතිය තුළ තම ස්ථානය ශක්තිමත් කරගැනීමටත් වත්මන් තත්වය HIP හට උපායමාර්ගික අවස්ථාවක් වන බව කර්මාන්ත විශ්ලේෂකයෝ තවදුරටත් පවසති.

