සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් සමාගමට පැනවූ මහ බැංකු තහනමක් ඉවතට


භානුක අමරසිංහ


සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් සමූහයට අයත් සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සම්බන්ධයෙන් මහ බැංකුව පනවා තිබූ නියාමන සීමාවක් සැප්තැම්බර් 19 වැනිදා සිට ඉවත් කිරිමට මහ බැංකුවේ පාලක මණ්ඩලය පියවර ගෙන ඇතැයි එම සමාගම පවසයි. 
කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් එම සමාගම මේ බව සඳහන් කර සිටියි. මහ බැංකුවෙහි ලියාපදිංචි බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් ලෙස පවත්වාගෙන යා යුතු අවම මූලික ප්‍රාග්ධන අවශ්‍යතාව සැපිරීමට අපොහොසත්වීමත් සමගින්ම 2017 අංක 02 දරණ මූල්‍ය ව්‍යපාර පනතේ විධාන යටතේ මෙම තහනම පැනවී තිබුණි. ඒ අනුව නව තැන්පතු භාර ගැනීම ඇතුළුව ආයෝජන සේවා සැපයීම තහනම් කෙරී තිබුණි.
කෙසේ වෙතත් සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී සමාගම අදාළ අවම මූලික ප්‍රාග්ධන අවශ්‍යතාව සැපිරීමට සමත්වීමත් සමගින්ම මෙම අනුමැතිය ලැබුණු බව සමාගම සඳහන් කරයි. මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අධීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම අවශ්‍යතාව ඉදිරිපත් තිබුණි. ඒ අනුව සිය ආසන්නතම මව් සමාගම වන සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී සමාගම හරහා ලබා ගත් අරමුදලක් හරහා සිදු කළ ප්‍රාග්ධනය වැඩිදියුණු කිරීමක් හරහා මෙම අවශ්‍යතාව සැපිරිමට හැකියාව ලැබී තිබේ.
මෙම අනුමතියත් සමගින්ම සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී නැවතත් සිය ව්‍යාපාරික මෙහෙයුම් ආරම්භ කරනු ඇති බවත්, නව තැන්පතු භාරගැනීම මෙන්ම සිය තනි පුද්ගල සහ ආයතනික ආයෝජකයන් සඳහා වන සේවා යළිත් ආරම්භ කිරීමට කටයුතු කරන බවත් සමාගම පවසයි.