සෙලාන් - Home Lands එකතුවෙන් විශේෂ ණය පහසුකම්


සෙලාන් බැංකුව සහ ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනූ අංක දේපළ වෙළෙඳාම් සමූහය ලෙස සැලකෙන Home Lands Group අතර ක්‍රමෝපායික හවුල්කාරීත්වයක් සඳහා පසුගියදා අත්සන් තබන ලදී. මෙම හවුල්කාරීත්වය යටතේ, Home Lands සමූහය වෙතින් සෘජුවම මිලදී ගන්නා නිවාස, මහල් නිවාස සහ ඉඩම් සඳහා සෙලාන් බැංකුව විසින් විශේෂ ණය පහසුකම් පිරිනමනු ඇත. 

මෙහි විශේෂත්වය වන්නේ, අදාළ දේපළෙහි වටිනාකමින් සියයට 90 ක් දක්වාම ණය පහසුකම් ලබාගැනීමට හැකි වීමය. සෙලාන් බැංකුව මගින් ලබාදෙන ඉහළම නිවාස ණය ප්‍රතිශතය මෙය වන අතර, Home Lands සමූහය සිය විසි වසරක ඉතිහාසය තුළ පෙන්නුම් කර ඇති විශ්වාසනීයත්වය සහ එහි මූල්‍ය ශක්තිය සම්බන්ධයෙන් සෙලාන් බැංකුව තුළ ඇති විශ්වාසය මෙමගින් මැනැවින් පිළිබිඹු වේ.

අදාළ සුදුසුකම් සපුරාලන ගනුදෙනුකරුවන්ට රාජකාරි දින 7 ක් වැනි කෙටි කාලයක් ඇතුළත ණය සඳහා අනුමැතිය හිමි වනු ඇත. එම ණය මුදල් ආපසු ගෙවීම සඳහා වසර 25 ක් දක්වා කාලසීමාවක් හිමි වන අතර, ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාව හා හැකියාව අනුව ආපසු ගෙවීමේ සැලසුම තීරණය කරගත හැකි වේ. එමෙන්ම නිවාස ණය පහසුකම් ලබාගන්නා ගනුදෙනුකරුවන් වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ලබාදීමටද සෙලාන් බැංකුව සූදානමින් සිටී. 

සෙලාන් බැංකුව මගින් Home Lands දේපළ සඳහා ලබාදෙන ණය පහසුකම්වල තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ සියයට 9.0 (වා.ස.පො.අ.) සිට ඉහළට විශේෂ පොලී අනුපාත හිමි වීමය. ණය අයදුම් කිරීමේ ක්‍රියාවලිය පුරාවට ගනුදෙනුකරුවන්ට පැහැදිලි මගපෙන්වීමක් ලබාදීම සඳහා සෙලාන් බැංකුවේ නිවාස ණය විශේෂඥයෝ සූදානමින් සිටිති. මෙම සේවාව සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන අතර, අවශ්‍ය අවස්ථාවලදී ගනුදෙනුකරුවන් වෙතටම පැමිණ සේවා ලබාදීමටද ඔවුන් කටයුතු කරනු ඇත. තවද ලිපිලේඛන කටයුතු සහ ණය අනුමත වීමෙන් පසු ක්‍රියාවලිය සඳහා අවශ්‍ය සහයෝගය දිවයින පුරා විසිරුණු සෙලාන් බැංකු ශාඛා වෙතින් ලබාගත හැකි වේ. 

“ලාංකිකයන් බොහෝ පිරිසක් නිවාස හිමිකරුවන් බවට පත්කිරීමට අවශ්‍ය මූල්‍ය සහයෝගය ලබාදීම අපගේ ඉලක්කයයි.Home Lands සමග ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය එහි තවත් ඉදිරි පියවරක්. ඉක්මනින් ණය අනුමත කිරීම, ආපසු ගෙවීම සඳහා වැඩි කාලයක් ලබාදීම සහ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවලට ගැළපෙන සේවාවක් පිරිනැමීම ඔස්සේ බොහෝ දෙනකුගේ නිවාස සිහින සැබෑ කිරීමට අපට හැකි වනු ඇතැයි අප විශ්වාස කරනවා.” සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පාරිභෝගික බැංකුකරණ) ඉයුජීන් සෙනෙවිරත්න මහතා පැවසීය.