සුළු මාධ්‍ය ව්‍යාපාර සවිබල ගැන්වීමට රුපියල් බිලියන 2.48 ඉක්මවූ ණය දීලා


  • මූල්‍ය ආයතන 13ක් වෙත නිකුත් කළ ඇපකර 458ක් හරහා මෙම ණය ලබා දීලා
  • වැඩිම ණය නිකුත් කර ඇත්තේ උතුර, නැගෙනහිර සහ දකුණු පළාත්වලට
  • කෘෂිකාර්මික, තොරතුරු තාක්ෂණ, සංචාරක, අපනයන යන අංශ වෙත ණය නිකුත් කරලා
  • වසර අවසන් වනවිට ඇපකර 1,800 ක් මගින් රුපියල් බිලියන 6.3ක් වටිනා ණය ලබාදීම අපේක්ෂාවයි 

භානුක අමරසිංහ


ජාතික ණය සුරැකුම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී
ජූඩ් ප්‍රනාන්දු

මෙරට ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සවිබල ගැන්වීම සඳහා අවශ්‍ය මූල්‍ය විසඳුම් ලබාදීම වෙනුවෙන් ක්‍රියාත්මක ජාතික ණය සුරැකුම් ආයතනය මගින් මේ වසරේ අගෝස්තු මාසය වන විට එම ව්‍යාපාර වෙත රුපියල් මිලියන 1,669 ක ඇපකර වටිනාකමක් සහිත ණය ලබාදීමක් සිදු කර තිබෙන බව එම ආයතනය පවසයි. මෙහි සම්පූර්ණ ණය වටිනාකම රුපියල් මිලියන 2,480 කි. 

බැංකු 10ක් සහ බැංකු නොවන මූල්‍ය ආයතන 3ක් ඇතුළු ආයතන 13ක් හරහා ලබාදුන් ඇපකර 458ක් යටතේ මෙම ණය මුදල් ලබාදීම සිදු කර තිබෙන බව එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ප්‍රනාන්දු මහතා ලංකාදීප FT වෙත සඳහන් කළේය. 

මේ වසරේ ජනවාරි මාසයේදී එම ආයතනය මගින් මෙලෙස හඳුනාගත් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සවිබල ගැන්වීම වෙනුවෙන් ණය ලබාදීම ආරම්භ කෙරිණි.

“රට පුරාම ව්‍යාපාර වෙත මෙම ණය මුදල් ලබාදී තිබෙනවා. ඒ අතරින් උතුර, නැගෙනහිර සහ දකුණු පළාත වෙත වැඩිම ණය ප්‍රමාණයක් බෙදී ගොස් තිබීම විශේෂත්වයක්. එතැනදී කෘෂිකාර්මික අංශය වගේම තොරතුරු තාක්ෂණ, සංචාරක, අපනයන වගේ අංශ වෙතත් ණය ලබාදී තිබෙනවා. එය සමස්තයෙන් සියයට 31ක් පමණ වෙනවා. ණය ලබාදීමේදී කාන්තාවන් මූලිකත්වය ගත් ව්‍යවසාය වෙත වැඩි අවධානයක් යොමු කරනවා. එය සමස්තයෙන් සියයට 17ක් පමණ වෙනවා.“ යනුවෙන්ද ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

විශේෂයෙන්ම මෙම ජාතික ණය සුරැකුම් වැඩසටහන, රට තුළ දරුණු ගැටලු‍වක් බවට පත්ව තිබෙන ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය යම්තරමකින් සමනය කිරිම සඳහා වන ආරම්භයක් ලෙස කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඒ මහතා පවසයි.

මෙම ජාතික ණය සුරැකුම් වැඩසටහන යටතේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ප්‍රාග්ධන වියදම් හා ස්ථීරකාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා හවුල්කාරීත්ව බැංකු හා මූල්‍ය සමාගම් හරහා රුපියල් 500,000 සිට රුපියල් මිලියන 25ක් දක්වා ණය මුදල් අනුමත කෙරේ.

“මේ වසර අවසන් වනවිට ඇපකර 1800ක් හරහා රුපියල් මිලියන 4,200ක ඇපකර වටිනාකමකින් යුත් ණය මුදලක් නිකුත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එහි ණය වටිනාකම රුපියල් මිලියන 6,330 ක් පමණ වේවි. 

එය සාර්ථක කර ගැනීම සඳහා තවත් බැංකු 4ක් සහ බැංකු නොවන මූල්‍ය ආයතන 3ක් ඇතුළු ආයතන 7ක් මේ ජාතික ණය සුරැකුම් වැඩසටහන සමගින් සම්බන්ධවීමට සූදානමින් සිටිනවා.“ යනුවෙන්ද ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා රජය හා බැංකු හා මූල්‍ය ආයතන 13 ක් අතර රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව (PPP) ආකෘතිය යටතේ ජාතික ණය සුරැකුම් ආයතනය ස්ථාපිත කර තිබේ. ආසියානු සංවර්ධන බැංකුවෙන් හිමිවුණු ඇමරිකානු ඩොලර් මිලියන 50ක දිගුකාලීන ප්‍රාග්ධන ආයෝජනයක් සහිතව රජයේ සියයට 90ක කොටස් හිමිකාරීත්වයක් සහ බැංකු සහ මූල්‍ය ආයතන 13 සතුව ඉතිරි සියයට 10ක කොටස් හිමිකාරීත්වයක් අනුව මෙම ආයතනය පිහිටුවා ඇත.