සුසන්ත රණසිංහ ලංකා හොස්පිටල් අධ්‍යක්ෂ මණ්ඩලයට



භානුක අමරසිංහ


ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීඑල්සී සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස සුසන්ත කුමාර රණසිංහ මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව 2025 ජූලි 24 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා සමාගමේ ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත්වීම් ලැබ තිබේ. රාජ්‍ය අංශය තුළ වසර 23කට අධික කාලයක අත්දැකීම් ඇති රණසිංහ මහතා වර්තමානයේදී මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරයි.

මීට පෙර ඒ මහතා නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල, වාහන වියු විමෝචන භාරකාර අරමුදල, ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සහ ඇල්කඩුව ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් යන සමාගම්හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කර තිබේ. මීට අමතරව ඒ මහතා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව, කලු‍බෝවිටියාන තේ කර්මාන්තශාලාව සහ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේද විගණන කමිටුවල සභාපතිවරයා ලෙසින්ද කටයුතු කරයි.