කොළඹ කොටස් හුවමාරුවේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඉතිහාසයේ පළමුවරට ඊයේ (04) දිනයේදී ඒකක 20,000 ඉක්මවීමට සමත්විය. ඒ අනුව පෙරවරු 9.30ට දෛනික ගනුදෙනු ආරම්භ වීමෙන් අනතුරුව පෙරවරු 9.38ට එය ඒකක 20,004.72ක අගයකට පත්ව, 9.54 වන විට ඒකක 20,034.65 ක අගයකට පත්විය.
කෙසේ වෙතත් ඉන්පසුව එම දර්ශකයේ පහත වැටීමක් දැකගත හැකි වූ අතර දිනය අවසන් වනවිට එය ඒකක 19,786.23ක් ලෙස සටහන් විය. මෙය පෙර දිනය හා සැසඳීමේදී මෙම සියලු කොටස් මිල දර්ශකය ඒකක 128.0කින් එනම් සියයට 0.64කින් පහත වැටීමකි. එසේම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් ඒකක 5,857.61ක් දක්වා ඒකක 37.14කින් එනම් සියයට 0.63කින් පහත වැටුණි. දිනය තුළ කොටස් මිලියන 157.47ක් ගනුදෙනු වූ අතර රුපියල් බිලියන 4.5ක පිරිවැටුවක් වාර්තා විය.