මෙරට රාජ්‍ය ව්‍යවසාය අතරින් තෝරාගත් ව්‍යාපාර කිහිපයක් කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රාථමික කොටස් නිකුතු වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට 2025 අය වැය යෝජනා අතර ඉඟි කර තිබුණ නමුත් මෙතෙක් එයට අවස්ථාවක් ලබාගෙන නැත. ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගෙන රාජ්‍ය ව්‍යාපාර සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නියම කොට තිබේ. ඉදිරි කාලය තුළ යම් තීරණයක් ගැනීමට යෝජිත අතර පෞද්ගලිකරණ සැලැස්ම තුළ විකිණීම, කොටස් නිකුත් කිරීම හෝ රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘති වශයෙන් පවත්වාගෙන යන ඕනෑම ක්‍රමවේදයකට ආණ්ඩුව සූදානම් බව ප්‍රකාශට පත්ව ඇත.
ජනාධිපතිවරයා බලයට පත්ව වසරක් ගතව තිබේ. ඉදිරි සංවර්ධන සැලසුම් ගණනාවක් සැලසුම් කර ඇත. වේගවත් ආර්ථික සංවර්ධනයක් උදෙසා තීරණ ගැනෙනු ඇතැයි ආයෝජන අංශවලට බාලාපොරොත්තු හට ගැනෙමින් තිබේ. ආර්ථිකය ස්ථාවර කිරීමට පසු වර්ධනය වෙනුවෙන් පියවර ගැනීමට දරන උත්සාහයක් මෙහි දී සැලකිය හැකිය.
මේ අතර සමාගම්වල කොටස් මිල දී ගැනීමට දේශීය සුළු ආයෝජක අංශවල උනන්දුව තවමත් තිබේ. විදේශ ආයෝජන අංශවල අවධානය ප්‍රමාණාත්මකව නැත. විදේශිකයන් ගේ මිල දී ගැනීම් රු. මිලියන 200 ක් හා විකිණීම් රු. මිලියන 613 ක් වශයෙන් ඉකුත් සතියේ අවසන් දින දෙක තුළ වාර්තා විය. රු. මිලියන 413 ක් රටින් පිටතට ගිය බවක් දින දෙකක් තුළ සටහන්ය.
ගනුදෙනු අවසන් වන විට (සැප්. 19) සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,085.09 ක් දක්වා ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 119.83 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,996.16 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 24.86 ක ඉහළ යාමක් සේ වාර්තා වේ. දෛනික පිරිවැටුම රු. බිලියන 6.86 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 42,046 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 377.1 ක් විය. සමාගම් 163 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 98 කි.
සියෙරා කේබල් රු. මිලියන 1,201 ක්, ජෝන් කීල්ස් රු. මිලියන 248 235, එල්.ඕ.එල්.සී. රු. මිලියන 235 ක්, ලංකා ක්‍රෙඩිට් බියුරෝ රු. මිලියන 235 ක්, කාර්ගිල්ස් බැංකුව රු. මිලියන 161 ක්, ඒෂියා ඇසෙස්ට් ෆයිනෑන්ස් රු. මිලියන 157 ක්, බයිරාහා ෆාම් රු. මිලියන 140 ක් ආදී වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය.
නිරීක්ෂක