සියයට 30ක ට්‍රම්ප් බද්දට වැවිලි ක්ෂේත්‍රයේ කනස්සල්ල


  • 2024 දී ඩො.මි. 45ක් වටිනා තේ කිලෝ මිලියන 6.4ක් ඇමෙරිකාවට අපනයනය කරලා 
  • අපනයනය කළ තේ අතරින් සියයට 65ක්ම අගය එකතු කළ නිෂ්පාදන 
  • ඇමෙරිකාවට කරන රබර් නිෂ්පාදන අපනයනයේ වාර්ෂික වටිනාකම ඩොලර් මිලියන 330ක් 

භානුක අමරසිංහ 

ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයට සිදු කරන අපනයනය සඳහා ලබන අගෝස්තු 01 වැනිදා සිට පැනවීමට නියමිතව ඇති සියයට 30ක තීරු බද්ද ශ්‍රී ලංකාවේ තේ සහ රබර් අපනයන වෙතත් දරුණු ලෙස බලපානු ඇතැයි ලංකා වැවිලිකරුවන්ගේ සංගමය කනස්සල්ල පළ කර සිටියි. 

විශේෂයෙන්ම මෙම පියවරත් සමගින්ම ශ්‍රී ලංකාවේ ඓතිහාසික සහ රැකියා උත්පාදන ක්ෂේත්‍ර දෙකක් වන තේ සහ රබර් කර්මාන්තය දශක ගණනක් පුරා ගොඩනගාගත් වෙළෙඳපොළ සහ වෙළෙඳ රාජ්‍යතාන්ත්‍රික බව විනාශ කිරීමට හේතුවක් වනු ඇතැයිද එම සංගමය පෙන්වා දෙයි. 

ඒ අනුව ශ්‍රී ලංකාව මේ සඳහා කඩිනම් මැදිහත්වීමක් සිදුකළ යුතුව ඇතැයි ඔවුහු අවධාරණය කරති. විශේෂයෙන්ම මෙරට තරගකාරී රාජ්‍ය වන වියට්නාමය සහ ඉන්දියාව සිය තීරු බදු අඩු කරගැනීම සඳහා දැනටමත් එක්සත් ජනපදය සමගින් සාකච්ඡා පවත්වන බවත්, ඉන්දුනීසියාව දැනටමත් අන්‍යෝන්‍ය තීරු බදු එකගතාවකට පැමිණීමට සමත්ව ඇති බවත් එම සංගමය සඳහන් කරයි. 

“ශ්‍රී ලංකාව ඇමෙරිකා එක්සත් ජනපදයට අපනයනය කළ ලංකා තේ (සිලෝන් ටී) සඳහා මෙතෙක් කලක් කිසිදු තීරු බද්දක් අය කෙරුණේ නැහැ. එහෙත් තේ අපනයනයටත් සියයට 30ක තීරු බද්දක් පැනවීමත් සමගින් එය ඇමෙරිකාවට කරන තේ අපනයනයට බලපානවා.” යනුවෙන් එම සංගමය පවසයි. 

ඔවුන්ට අනුව 2024 වසරේදී තේ කිලෝ මිලියන 6.4ක් ඇමෙරිකාවට අපනයනය කර තිබේ. එහි වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 45කි. එය 2023 වසර හා සැසඳීමේදී ප්‍රමාණාත්මකව සියයට 22ක වර්ධනයක් මෙන්ම වටිනාකම අනුව සියයට 11ක වර්ධනයකි. 

මෙහිදී එම අපනයන අතරින් සියයට 65ක්ම අගය එකතු කළ නිෂ්පාදන වන අතර, ඇසුරුම්ගත, මිශ්‍රකෙරුණු, රස එක් කළ සහ ක්ෂණික තේ ලෙස ශ්‍රී ලංකාවේ තේ සඳහා ඉතා ඉහළ ඉල්ලු‍මක් පැවති බවත් ඔවුහු පවසති. 

“ඒ වගේම ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකාව වෙත අපනයනය කරන තේ වල නැව්ගතකිරීමේ ගාස්තුව ගැනුම්කරුවා වෙත පැටවෙන FOB (Free On Board)  ගාස්තුවේ සාමාන්‍ය කිලෝග්‍රෑමයකට ඩොලර් 7ක්. එය 2024 වසරේදී ජාතික වශයෙන් පැවැති කිලෝග්‍රෑමයක් සඳහා වන ඩොලර් 5.83 අගයේ සාමාන්‍යට වඩා වැඩියි. ඒ අනුව මෙය ඇමෙරිකානු වෙළෙඳපොළේ ශ්‍රී ලංකා තේ කොපමණ ඉහළ තැනක තිබුණාද කියන දේ පැහැදිලියි.“ යනුවෙන් තේ අපනයකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති ගනේෂ් දෙයිවනායගම් පවසයි. 

එසේම ශ්‍රී ලංකාවේ තේ එක්සත් ජනපදයේ උණුසුම් තේ අංශය තුළ සියයට 20ක ප්‍රතිශතයක් අත් කරගෙන තිබේ. මෙහිදී ඇමෙරිකාවේ වාර්ෂික තේ පරිභෝජනයත් සියයට 6කින් වර්ධනය වන අතර, ශ්‍රී ලංකාවේ ඉහළ වටිනාකමක් ගන්නා විවිධාංගීකරණය වූ තේ නිෂ්පාදන සඳහා එය අතිශය වැදගත් වෙළෙඳපොළක් බවත් ලංකා වැවිලිකරුවන්ගේ සංගමය සඳහන් කරයි. 

“මෙම තීරු බදු නිවේදන නිකුත් කෙරුණු අවස්ථාවේ සිටම අපට හානි දායකයි. අප්‍රේල් 11 වැනිදා වනවිට ඩොලර් මිලියන 3.24ක වටිනාකමින් යුත් තේ කිලෝග්‍රෑම් ලක්ෂ තුනක් ඇමෙරිකාව වෙත යමින් තිබුණා. ඒ වගේම ඩොලර් මිලියන 479,000ක් වටිනා තවත් තේ කිලෝග්‍රෑම් 21,000ක් ඇමෙරිකානු වරායන් තුළ නිදහස්වීමට නියමිතව තිබුණා. මෙම තීරු බදු නිවේදනය නිකුත් කිරීමත් සමගින්ම ඩොලර් මිලියන 3.14ක වටිනාකමකින් යුත් තේ කිලෝග්‍රෑම් 225,970ක ස්ථිර කෙරුණු ඇනවුම් අත්හිටුවුණා.“ යනුවෙන් එම සංගමය සඳහන් කරයි. 

මීට අමතරව රබර් කර්මාන්තයේ ඉදිරි දැක්මත් මෙවැනිම ආකාරයේ අවිනිශ්චිතතාවකින් පෙළෙන බවත් ලංකා වැවිලිකරුවන්ගේ සංගමය පවසයි. අද වනවිට එක්සත් ජනපදය වෙත සිදු කරන වාර්ෂික රබර් නිෂ්පාදන අපනයනයේ වටිනාකම ඩොලර් මිලියන 330 කි. එහිදී ඝන ටයර්, වෛද්‍ය අත්වැසුම් සහ පෞද්ගලික ආරක්ෂක උපකරණ (PPE) යනාදිය මූලිකවම අපනයන කරයි. 

“එහෙත් මෙම නව තීරු බදු හේතුවෙන් ඇනවුම් අත්හිටුවීම සහ ආයෝජක වික්ෂිප්තබව වර්ධනයට හේතුවක් වී තිබෙනවා. එහිදී සියයට 30ක තීරු බදු පැනවීමත් සමගින්ම එක්රැයකින් ශ්‍රී ලංකාව සිය තරගකරුවන් වන වියට්නාමය සහ ඉන්දියාව ඉදිරියේ පරාජයට පත්වේවි.” සංගමය සඳහන් කරයි. 

විශේෂයෙම මෙම කර්මාන්තය අද වනවිට 150,000 කගේ ජීවනෝපාය වෙත දායකත්වය ලබා දෙන අතර ආර්ථිකය වෙතත් ඩොලර් බිලියන ගණනක දායකත්වයක් ලබා දෙයි. 

“ඇතැම් ශ්‍රී ලාංකික සමාගම් දැනටමත් ඔවුන්ගේ නැව්ගතකිරීම් නවත්වා තිබෙනවා. සිය දිගුකාලීන ගැනුම්කරුවන් මිල අඩු විකල්ප වෙත යොමුවේවි කියන අදහසේ ඔවුන් ඉන්නවා. ශ්‍රී ලංකාවේ ඝන ටයර් සඳහා වන ඉල්ලු‍මෙන් සියයට 80ක්ම එන්නේ එක්සත් ජනපදයෙන්. ඒ නිසා මේ තර්ජනය බරපතළයි.” 

ඒ අනුව මෙම තත්ත්වය මගහැරවීම සඳහා එක්සත් ජනපදයේ වෙළෙඳ නියෝජිතයන් සමගින් ඍජුවම සාකච්ඡා කරන ලෙස ලංකා වැවිලිකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියි. විශේෂයෙන්ම මෙම ක්ෂේත්‍ර ග්‍රාමීය රැකියානියුක්තිය වෙත මෙන්ම ගෝලීය වෙළෙඳපොළ වෙත වඩාත් සදාචාරවත් සහ ගුණාත්මක නිෂ්පාදන ලබාදෙන බවත් ඔවුන් පෙන්වා දෙයි. 

මීට අමතරව වෙළෙඳපොළ විවිධාංගීකරණය සහ සන්නාමකරණය සහ නවෝත්පාදන තුළ දිගුකාලීන ආයෝජන කිරීමත්, ඒ හරහා රටේ තරගකාරීත්වය සහ දරාගැනීම තවදුරටත් ආරක්ෂා කළ හැකි බවත් ලංකා වැවිලිකරුවන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටියි.