සිංගර් ෆිනෑන්ස් හිමිකම් නිකුතුවේ කොටස් මිලියන 60ක් මිලට ගැනීමට සිංගර් සැරසේ


භානුක අමරසිංහ

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සිංගර් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ හිමිකම් නිකුතුවට අදාළ කොටස් 75,777,778 අතරින් කොටස් 60,567,388ක් මිලදී ගැනීමට සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සමාගම කටයුතු කරන බව පවසයි.

මෙම නිකුතුව යටතේ සිංගර් ෆිනෑන්ස් නිකුත් කර ඇති සෑම සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 16ක් සඳහාම අලු‍තින් සාමාන්‍ය ඡන්ද හිමි කොටස් හයක් නිකුත් කෙරේ. ඒ අනුව අලු‍තින් කොටස් 75,777,778 ක් නිකුත් කෙරෙන අතර එක් කොටසක් රුපියල් 26.50ක් බැගින් මිල කෙරී ඇත. ඒ අනුව නිකුතුවේ වටිනාකම රුපියල් බිලියන 2ක් (2,008,111,117) වෙයි. මෙම හිමිකම් නිකුතුව සිදු කරන අවස්ථාව වනවිට සිංගර් (ශ්‍රී ලංක) පීඑල්සී සතුව සිංගර් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ කොටස් 161,513,035ක් පවතින අතර, එය ප්‍රතිශතයක් ලෙස සියයට 79.93 කි.

ඒ අනුව මෙම නිකුතුව මගින් සිදු කරන කොටස් 60,567,388ක් මෙලෙස මිලදී ගැනීමට සිංගර් ෆිනෑන්ස් පීඑල්සී සමාගම පියවර ගන්නා බව පවසයි. එහි වටිනාකම රුපියල් බිලියන 1.6 ක් (1,605,035,782ක්) ලෙස සටහන්ව තිබේ. මෙලෙස මිලදී ගන්නා කොටස්වල හිමිකාරීත්වය සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මහේෂ් විජේවර්ධන මහතා යටතට පත්වන බවත්, ඔහු සිංගර් ෆිනෑන්ස්හි විධායක නොවන අධ්‍යක්ෂවරයකුද වන බවත් සමාගම පවසයි.