- අගෝස්තුවේ ලියාපදිංචියට සාපේක්ෂව සියයට 27ක ඉහළ යාමක්
භානුක අමරසිංහ
පසුගිය සැප්තැම්බර් මාසයේදී අලුතින් වාහන 48,708 ක් ලියාපදිංචි කෙරී ඇතැයි අලුත්ම දත්ත වාර්තා පවසයි. ඒ අනුව මෙය අගෝස්තු මාසයේදී ලියාපදිංචි කෙරුණු වාහන 38,240 කට සාපේක්ෂව සියයට 27ක වර්ධනයක් ලෙස සටහන්ව තිබේ. මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දත්ත අනුව CAL ආයතනය සකස් කළ වාර්තාවක මේ බව සටහන්ව තිබේ.
මෙහිදී සැප්තැම්බර් මාසයේදී වැඩිම ලියාපදිංචිය යතුරු පැදි වන අතර, එය 32,626 කි. මෙය අගෝස්තුවේදී ලියාපදිංචි කෙරුණු යතුරු පැදි 27,585 හා සැසඳීමේදී සියයට 18ක ඉහළ යාමකි. එසේම කාර් රථ 10,146ක් ලියාපදිංචි කෙරී ඇති අතර, එය අගෝස්තුවේ සිදුකළ කාර් රථ 6,475 ට සාපේක්ෂව සියයට 57ක ඉහළ යාමකි. මීට අමතරව ත්‍රීරෝද රථ 3015ක් ලියාපදිංචි කෙරී ඇති අතර, එය අගෝස්තුවේදී ලියාපදිංචි කෙරුණු ත්‍රිරෝද රථ 2,497 ට සාපේක්ෂව සියයට 21ක වර්ධනයකි.
මේ අතර අප්‍රේල් මාසයේ සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ මෙරට තුළ අලුතින් වාහන 182,717ක් ලියාපදිංචි කෙරී තිබේ. ඒ අනුව අප්‍රේල් 17,424ක්, මැයි 18,462ක්, ජූනි 22,340ක්, ජූලි 37,543ක්, අගෝස්තු 38,240ක් සහ සැප්තැම්බර් 47,708ක් ලෙස මෙම ලියාපදිංචිය සටහන්ව ඇත.

