ස්වාධීන මහ බැංකුවක් අවශ්‍ය කාටද?


නොබෝදා රූපවාහිනී නාළිකාවක පැවති සාකච්ඡා වැඩසටහනක දී එම වැඩසටහනේ සත්කාරකවරිය වූ නිම්නා පෙරේරා, මගෙන් මෙසේ ඇසුවාය. වර්තමාන මහ බැංකු කළමනාකාරීත්වය, ආර්ථිකය කළමනාකරණය කිරීමේ කාර්යය භාරය මැනවින් ඉටු කරනු ලබන්නේද?

උද්ධමනය දමනය කිරීම

එම වැඩසටහනේ දී මාධ්‍යවේදිනියක් ලෙස ඇය මහජන මතය විවෘතව නියෝජනය කරමින් හඬ නගන්නීය. මෙම ප්‍රවේශය සම්බන්ධයෙන් විරෝධතාවක් නොමැත්තේ, නාළිකාවක මාධ්‍යවේදිනියගේ කාර්ය භාරය ඇගේ නරඹන්නන් නියෝජනය කරමින් ප්‍රශ්න නැගීම බැවිනි. ඇගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකාව නව මහබැංකු පනතෙන් බලය පැවරී තිබෙන ආකාරයට මහ බැංකුව ස්වාධීන සංවිධානයක් බවත්, ඊට පැවරී ඇති නව ව්‍යවස්ථාතිත බලය යටතේ මහ බැංකුව උද්ධමනය දමනය කිරීමේ කාර්යයත්, විනිමය අනුපාතිකය නැවත ස්ථාවරව පවත්වා ගැනීමේ කාර්යයන්, අති නිවැරදිව කරන බවත් මම සාරාංශ ගත​කොට කීවෙමි. කෙසේ වුවද එම විමසීමට විස්තරාත්මකව ඉදිරිපත් කරන පිළිතුර පහත දැක්වේ.

වසර තුනකට පෙර 2022 දී කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙන් මිනුම් කළ පරිදි උද්ධමනය සියයට 63 ඉක්මවා ගියේය. නිල විනිමය අනුපාතිකය අස්ථාවර වූයෙන් විදේශ මුදල් වලට කළු කඩයේ ලාබදායි මිලක් ජනිත විය. නිසි ප්‍රතිපත්ති අනුගමනය නොකළේ නම් ශ්‍රී ලංකාවේ සියලු දර්ශකයන් ලෙබනනයේ තරමට පහතට ඇද වැටෙන්නට ඉඩ තිබිණි. මහබැංකුවේ කළමනාකාරිත්වය හා මූල්‍ය අංශය මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිමය සහයෝගය නිසා එසේ සිදු නොවී ඉහළ නගිමින් පැවති උද්ධමනය, දමනය කොට විනිමය අනුපාතිකය ස්ථාවර මට්ටමක රඳවා ගත හැකි වූයේය.

අලුත් මහ බැංකු නීතිය:-

පැවති මහ බැංකු නීතිය හෙවත් මූල්‍ය නීති පනතේ දෝෂ සහගත භාවය කලින් කලට පෙන්වා දුන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි. මන්දයත් එයින් රජයේ නිලධාරියකුටත්, භාණ්ඩාගාර ලේකම්ටත්, මහ බැංකුවේ තීරණ ගන්නා මණ්ඩලයවූ මූල්‍ය මණ්ඩලය අසුන් ගනිමින් ඡන්දය හිමි සාමාජිකයන් ලෙස සිටින්නට එම පනතෙන් අවසර දී තිබුණ නිසාය. මූල්‍ය නීති පනතෙන් මහ බැංකුවට, රජයෙන් නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් ප්‍රාථමික වෙන්දේසියේ දී මිලදී ගෙන අයවැය සඳහා මුදල් යෙදවීමට අවසර දී තිබිණි. මෙම පහසුකම මුදල් මූල්‍යකරණය යනුවෙන් හැඳින් වූ අතර මහ බැංකුවේ ස්වාධීනත්වය රජයට මුදල් යෙදවීමේ ප්‍රාථමික මූලාශ්‍රය වන තරමටම පහත වැටී තිබුණු නිසා නිදහස දිනූ දා පටන් සියලුම මුදල් අමාත්‍යවරු එම පහසුකම භාවිත කළහ.

2019 සිට 2022 දක්වා ඩබ්.ඩී. ලක්ෂ්මන්ගේ මහ බැංකු අධිපති ධුර කාලය තුළ නූතන මූල්‍ය න්‍යායවාදීන් යනුවෙන් හැඳින්වුණු සමූහයකගෙන් බිඳී ගිය කණ්ඩායමක් විසින් ඉදිරිපත් කළ මූල්‍ය ප්‍රතිපත්ති වැඩ සටහනක් අනුගමනය කරනු ලැබීය. ඒ අනුවව මහ බැංකුවේ රජය වෙත කෙරෙන ශුද්ධ මූල්‍ය කරණය රුපියල් ට්‍රිලියන 2.8 සිට (2019 අග පටන්) 2021 අග දක්වා රුපියල් ට්‍රිලියන 5.8 දක්වා සියයට 107 කින් (107%) වැඩි කරනු ලැබුවේය. උද්ධමන අනුපාතය සියයට 63 ට ඉහළ නගින්නට හේතු වූයේත්, විදේශ මුදල් වලට සාපේක්ෂව රුපියල් අගය පහත වැටෙන්නට හේතු වූයේත් එයයි. එම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට විස්තීරණ ණය පහසුකම් ලබා දීමේදී පැනවූ එක් කොන්දේසියක් වූයේ, නව මහ බැංකු පනතක් හඳුන්වාදී රටේ නීතියේ පවතින අනෙකුත් අහිතකර අංග ඉවත් කර දැමිය යුතුය යන්නයි.

ඒ අනුව 2004 දී අලුත් මහ බැංකු පනතක් කෙටුම්පත් කරන ලද අතර එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එයට පාර්ලිමේන්තු අනුමැතිය ලබා දීමට ද එකඟ වූයේය. කෙසේ වුවද ඊළඟ මහ මැතිවරණයෙන් ඔහුගේ රජය පරාජය වූ පසු මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුතුව ඊළඟට පැමිණි ආණ්ඩුවට, ඔහු​ගේ ප්‍රධාන ආර්ථික උපදේශකවරුන්ගේ උපදේශය අනුව මහ බැංකුව ස්වාධීන ආයතනයක් බවට පත් කිරීමට  අවශ්‍ය නොවූයේය.

ඒ අනුව කෙටුම්පත් කරන ලද පනත හකුලා ගැනිණි. ඊට පසු නැවත 2018 දී ජාත්‍යන්තර මූල්‍ය අමුදලේ බල කිරීම මත එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහබැංකු අධිපති පදවියේ සිටි වර්තමාන මහ බැංකු අධිපතිවරයාගේ මූලිකත්වයෙන් තවත් මහ බැංකු පනතක් කෙටුම්පත් කරන ලද්දේය. එවකට අගමැති රනිල් වික්‍රමසිංහ, එම පනත හඳුන්වා දීමට එකඟ වූයේය. කෙටුම්පත් කරන ලද පනත, පනත් කෙටුම්පතක් ලෙස පාර්ලිමේන්තුවේ සැලකිල්ලට භාජනය කිරීම උදෙසා ගැසට් පත්‍රයක පළ කෙරිණි.

කෙසේ වුවද එම අවස්ථාවද ශ්‍රී ලංකාවට අහිමිව ගියේ 2019 දී ගෝඨාභය රාජපක්ෂ යටතේ ගොඩනැගුණ අලුත් ආණ්ඩුවට මහ බැංකුව ස්වාධීන ආයතනයක් බවට පත් කිරීමට අවශ්‍ය නොවූ නිසාය. ඉන් පෙර නව මහ බැංකු පනත යට ගසන්නට මහින්ද රාජපක්ෂට බලපෑම් කළ ප්‍රතිපත්ති උපදේශකයෝම ගෝඨාභයටත් මග පෙන් වූහ. ගෝඨාභය රාජපක්ෂට සහාය දුන් පොදුජන පක්ෂයට ද මහබැංකුව ස්වාධීන ආයතනයක් බවට පත් කිරීමට අවශ්‍ය වූයේ නැත. 2022 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තනතුරෙන් ඉල්ලා අස් වූ පසු එම ස්ථාවරය වෙනස් වූයේය. මහ බැංකුව ස්වාධීන ආයතනයක් බවට පත් කිරීමේ සිය හැඬ ගැසීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නවතා නොදැමූ අතර 2023 විස්තීරණ ණය පහසුකම් තුළින් රට බේරා ගැනීමට අවශ්‍ය නම් එය ජා.මූ. අරමුදලේ එක් කොන්දේසියක් ලෙස ඉදිරිපත් වූයේය.

ඒ වන විට අන්තර් කාලීන ජනාධිපතිවරයා වූ රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තුවේ සිටි පොදුජන පක්ෂයේ සහයෝගයෙන් කළින් හකුලා ගන්නා ලද මහබැංකු පනත නැවත හඳුන්වා දුන්නේය. ඒ සඳහා ඔහුට ඔහුගේ ප්‍රතිපත්ති උපදේශකයන් වූ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහගේ සහ භාණ්ඩාගාර ලේකම්, මහින්ද සිරිවර්ධන යන අයගේ සහාය ලැබිණි.  එම දෙදෙනා ඒ සඳහා සැදී පැහැදී සිටියහ. එම නිසා ඒ උදෙසා වූ ගෞරව සම්මානය එම තිදෙනාටත් එම නීතියට ඡන්දය දුන් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනටත් හිමිවිය යුතුය.

මහ බැංකුව ස්වාධීන කිරීමේ අවශ්‍යතාව:-

2018 මහ බැංකුවේ 68 වැනි වාර්ෂික දේශනය මා පවත්වන අවස්ථාවේ ස්වාධීන මහ බැංකුවක අවශ්‍යතාව පිළිබඳව මම තර්ක ඉදිරිපත් කළෙමි. ඉන් අනතුරුව 2019 මහ බැංකුවේ පැවැති ප්‍රසිද්ධ දේශන වලදීත් මම ඒ ගැන සඳහන් කළෙමි. 2025 දී ශ්‍රී ලංකා මහ බැංකුවේ වර්තමාන  අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ 75 වැනි සංවත්සර දේශනය ඉදිරිපත් කරමින් වෙනත් දෘෂ්ටි කෝණයකින් එම විෂය ගැනම කරුණු ඉදිරිපත් කළේය. අර්බුදයකදී මහ බැංකුවේ ස්වාධීනත්වයය බලපාන්නේ කෙසේද?. එම අර්බුදයෙන් ගොඩ ඒමට සහ ඉන් ඔබ්බට එම ස්වාධීනත්වය අදාළ වන්නේ කෙසේද? යන දෘෂ්ටියෙන් හෙතෙම මහ බැංකුවේ ස්වාධීනත්වය යන කාරණය විග්‍රහ කළේය.

මහ බැංකුවේ ස්වාධීනත්වය යන කාරණයේ වැදගත්කම අවධාරණයට ලක් කරමින් ඔහු මෙසේ කීවේය. ‘මහ බැංකුව පොරොන්දු වන කාරණා  හොඳින් ඉටු කිරීමටම නම්, මහ බැංකු පැහැදිලිව නිර්වචනය කළ පැවරුම් බලතල වලිනුත්, හොඳින් තහවුරු වූ  සීමාවලිනුත්, මෙහෙයුම් කිරීම උදෙසා වූ ප්‍රමාණවත් ස්වෛරි බවකිනුත් සහ ගෝලීය අත්දැකීම් වලින් ප්‍රදර්ශනය වී තිබේ.

‘පැහැදිලිව නිර්වචනය කළ පැවරුම් බලයකින් එම ආයතනයට මඟ පෙන්වනවා පමණක් නොව, ප්‍රතිපත්ති සම්පාදකයන්ටත්, මහජනතාවටත් යන දෙකොට්ඨාශයටම වගවීම උදෙසා විනිවිද පෙනෙන සුළු මිනුම් සලකුණු ද එයින් සැපයෙනවා. නිශ්චිතව නිර්වචනය කළ කාර්ය භාරයන්ගෙන්, ඡන්දයෙන් පත් වූ ආණ්ඩු වලට අයත් ප්‍රතිපත්තිමය ආධිපත්‍යයන් තුළ අයාලේ යෑම වළක්වනු ලබනවා. නව මහ බැංකු පනතෙන් මෙම පැහැදිලි බව ශ්‍රී ලංකා මහ බැංකුව තුළ ස්ථාපිත කරනු ලබනවා.

මහ බැංකුවේ ස්වාධීනත්වය, ප්‍රවර්ධනය කිරීමත් ආරක්ෂා කිරීමත්, සංරක්ෂණය කිරීමත් මතු පරම්පරාවල වගකීම විය යුතු යයි ඔහු කියා සිටියේය. අවසන වශයෙන් ඔහු මෙසේ ප්‍රකාශ කළේය. ස්ථාවර භාවයේ ස්ථීරසාර නැංගුරමක් ලෙස එයට අඛණ්ඩව ක්‍රියා කළ හැක්කේ එවිට පමණයි. එය ස්ථීරසාර වර්ධනයේ සහ පැතිරී යන සමෘද්ධිමත් භාවයේ ඉතා වැදගත් පදනමක් වෙයි.

සැමට බලපාන, මහ බැංකුවේ ස්වාධීනත්වය මහ බැංකුවේ ස්වාධීනත්වය ආරක්ෂා කරන ලෙස, අධිපති වීරසිංහ අනාගත පරම්පරාවන්ට කරන ආයාචනය, මහ බැංකු ක්‍රමයේ මූලික ලක්ෂණයක මත පදනම් වූවකි. නිම්නා පෙරේරාගේ සතකාරකත්වයෙන් හෙබි රූපවාහිනී වැඩ සටහනේදී ද මම මෙම කාරණය මතු කළෙමි. එසේ කළේ මහ බැංකුවේ ස්වාධීනත්වය හුදෙක් යම් දේශපාලනඥයකුට හෝ මහ බැංකු අධිපතිවරයාට හෝ ඔහුගේ නිලධාරීන්ට අවශය වූවක් නොවනු නිසාය. එය අවශ්‍ය වන්නේ ගනුදෙනු, වලදී තමන් දරනා සැබෑ වත්කම් හුවමාරු කරමින් මහ බැංකුව මත විශ්වාසය තබනා මහජනයාටය.

මහ බැංකුව මුදල් අච්චු ගැසීමේ තේරුම:- මිනිසුන් ගනුදෙනු කිරීමේ මාධ්‍යයක් ලෙස වටිනාකම් ගබඩා කිරීමේ, ගණන් තැබීම් ඒකකයක් ලෙස, නිශ්චිත ගෙවීම් සිදුකිරීමේ ක්‍රමවේදයක් ලෙස භාවිත කරන මුදල්, එම ස්වරූපයෙන් නිකුත් කිරීම මහ බැංකුවට ඇති එකම බලයයි. එහෙත් මුදල යනු හුදෙක් නාමික වත්කමකි. එය මිනිසුන්ගේ මනසේ පවතින පරිකල්පනයකි. ඒවාට නියම වටිනාකමක් පවතින්නේ ඒවායින්. මිනිසුන් පරිභෝජනය කරන සැබෑ භාණ්ඩ හා සේවා හුවමාරු කළ හැකි විට නැතහොත්, තවදුරටත් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම උදෙසා යෙදවුම් වලට ඒවා භාවිත කළ හැකි විට පමණකි.

තමන්ගේ ශ්‍රම සේවා හෝ වෙනත් ආයෝජන වැනි සැබෑ වත්කම් මිනිසුන් සතුවේ ඒවායින් මුදලට හුවමාරු කළ හැකි සැබැ භාණ්ඩ හා සේවා ඔවුන්ට නිෂ්පාදනය කළ හැකිය. මන්දයත් එසේ කළ හැකි වඩාත්ම පහසුම ක්‍රමවේදය එය බැවිනි.

මෙය උදාහරණයකින් විස්තර කළ හැකිය. තම ශ්‍රම සේවාව හිමි පුද්ගලයකු පැය 8 ක තම ශ්‍රමය රු. 1000 ක වටිනාකමක් ඇති නෝට්ටුවකට හුවමාරු කළේ යයි සිතන්න මහබැංකුව භාවිත කරන සැබෑ සම්පත් නම්. ආරක්ෂිත කඩදාසි, මුද්‍රණ යන්ත්‍ර, ශ්‍රමය ආදියයි. එහෙත් මෙම සැබෑ සම්පත් වල වටිනාකම මුහුණත් වටිනාකමෙන් කොටසකි. එම පිරිවැයෙ මූල්‍ය අගය රු. 20 ක් යයි සිතමු. මෙම උදාහරණයේ දී මෙම මුදල පැය අටක ශ්‍රමයට හුවමාරුවේ. මහ බැංකුව රු. 980 ක ලාභයක් මෙහිදී උපයා ගනී. මෙය අපමාන වූ සුවමාරුවක වන්නේ ශ්‍රම හිමියා සැබෑ පැය 8 ක ශ්‍රමය වැයකරන නිසා එහිදී මහ බැංකුව රු. 20 ක් වැය කරන බැවිනි.

අසමාන හුවමාරුව නිසා උද්ධමණ බද්දක් හට ගැනීම:-

එවිට ප්‍රශ්නය වන්නේ ශ්‍රම හිමියා අසමාන හුවමාරුවකට එකඟ වන්නේ ඇයිද යන්නයි. එසේ වන්නේ මහ බැංකුව, එම පුද්ගලයා රු. 1000 නෝට්ටුව රැගෙන වෙළෙඳ පොළට ගිය විට රු. 1000 වටිනා සැබෑ භාණ්ඩ  සහ සේවා ඔහුට මිලට ගන්නට හැකියාව ලැබීමට ඉඩ සැලසීමට පොරොන්දු වන නිසාය. එම නිසා ශ්‍රම හිමියා පැය අටක ඔහුගේ ශ්‍රමය හුවමාරු කරනුයේ රුපියල් 1000 නෝට්ටුවට නොව පිටිකිරි කිලෝ  ග්රෑමයකට බැවිනි. මහ බැංකුව අනෙක් මිනිසුන් සමග ද මෙකි සෙල්ලමේ යෙදෙන්නේය. ඔවුන් සියලු දෙනා වෙළඳ පොළට ගොස් කිරිපිටි කි.ග්. 1 ක් ඉල්ලා සිටින අවස්ථාවක් ගැන සිතන්න. එම අවස්ථාවේ සැපයුම් හිඟය නිසා කිරිපිටි මිල ඉහල ගොස් ඇතැයි ද සිතමු. දැන් කිරිපිටි කිලෝවක මිල රු. 2000 ට නැග ඇතැයි සිතමු. එවිට ශ්‍රම හිමියාට මිලදී ගත හැක්කේ කිරිපිටි කිලෝ භාගයක් පමණී. ඔහුට අහිමි වූ කිරිපිටි කිලේ ග්රෑම් භාගය ඔහු රජයට ගෙවූ බද්දකි.

මෙම බද්ධ උද්ධමනයෙන් ඉහළ යාම මත හටගන්නා නිසා එය උද්ධමන බද්ද යනුවෙන් හැඳින් වේ. මහ බැංකුවේ වගකීම වන්නේ උද්ධමන බද්ධ ශුන්‍ය (බිංදුව) මට්ටමේ තබා ගැනීමයි. එවිට තම නියම වත්කම්. නාමික, පරිකල්පනමය වත්කමක් වන මුදලට හුවමාරු කිරීමට යොමුවන ජනයාට වංචාවක් සිදුවන්නේ නැත. මහ බැංකුවට මෙම ප්‍රාතිහාර්යය සැමට හැකිවන්නේ එහි මූල්‍ය ප්‍රතිපත්තිය ආණ්ඩුවෙන් වෙන්ව නිදහස්ව සකසා ගැනීමට හැකි වූ විට පමණකි. එම නිසා මහ බැංකුවේ ස්වාධීනත්වය අවශ්‍ය වන්නේ දේශපාලකයන්ට හෝ මහ බැංකුවේ අයට නොව තමන්ගේ නියම වත්කම් මුදලට හුවමාරු කිරීමට රිසි වන ජනතාවටයි.

උද්ධමනය හේතුකොට ගෙන මුදල්වල අගය අහිමි වීම:-

මූල්‍ය නීති පනත යටතේ, කලින් ඇමැති මහ බැංකුවට, ආණ්ඩුවෙන් පීඩනය එල්ල වූයේය. ඊට හේතුව මුදල් ඇමැතිවරයා යටතේ සිටි භාණ්ඩාගාර ලේකම් මූල්‍ය මණ්ඩලයේ ඡන්දය හිමි සාමාජිකයකු වන නිසාත් මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් ප්‍රාථමික නිකුතුවේ දී මිලදී ගත හැකි වූ නිසාත්ය. මෙම කරදරකාරී ලක්ෂණ හේතුවෙන් මුදල් අමාත්‍යවරයාට, වඩාත් අසීරු වූ බදු අය කිරීමේ මාර්ගයට නොයා ඒ වෙනුවට බැංකුව මුද්‍රණය කරන මුදල් අයවැය අවශ්‍යතා පිරිමසා ගැනීමට යොදාගත හැකි වූයේය.

මේ ආකාරයට ණය ගැනීමේ සීමා අදාල පනත සම්මත කිරීමෙන් පසු පාර්ලිමේන්තුවට තීරණය කිරීමට හැකි වූ විට  ආණ්ඩුවේ අයවැය පරතරය පියවීමට ණය ගැනීමේ  බලය මහ බැංකුව වෙත යොමු කෙරිණි.

මේ හේතුව නිසා මුදල් සැපයුම් වැඩි වී අනවශ්‍ය ලෙස සාමාන්‍ය මිල මිට්ටම ඉහළ යාමට එය බල පෑ නිසා එහි ප්‍රතිඵලය ලෙස අඛණ්ඩව ​අතෝරක් නැතිව මහ බැංකුවෙන් අච්චු ගසන මුදල්වල අගය පහත වැටෙන්නට ගත්තේය. අප 1952, 100 මට්ටමේ පැවැති කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව සලකා බැලූ විට එය 2024 අග වන විට 24750 ඉහළ නැග තිබිණි. මෙයින් අදහස් වන්නේ 1952 පැවැති රුපියල් අගය, 2024 දී සතයටත් වඩා අඩු වටිනාකමකට අද වැටුණු බවකි. එයින් පෙනී යන්නේ මහ බැංකුවෙන් නිකුත් කරන මුදල් දරන්නා අතෝරක් නැතුව උද්ධමන බද්ද ගෙවූ බවයි. කිසිම ප්‍රමිතියක් ඇසුරින් සළකා බැලූ විට මෙය හිතකර ලක්ෂණයක් නොවන්නේය.

මහ බැංකුව නීතියට අනුව කටයුතු කිරීමෙහිලා අලුත් මහ බැංකු පනතේ භාණ්ඩාගාර ලේකම්ට මහ බැංකුවේ තීරණ ගන්නා මණ්ඩලවල කටයුතු කිරීමට අවසර නොදී ඇත්තේ මේ නිසාය. අයවැය උදෙසා මුදල් සැපයීම ද එම පනතෙන් මහ බැංකුවට තහනම් කර තිබේ. 2023 මෙම අලුත් මහ බැංකු පනත මෙහෙයුමට පැමිණීමෙන් පසුව මහ බැංකු අකුරටම නීතියට අනුව කටයුතු කර, කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ පෙන්වන සාමාන්‍ය මිල මට්ටම් වැඩි වීම  නවතා, වැඩිවීම ශුන්‍ය මට්ටම සමීපයේ රඳවාගෙන තිබේ වෙනත් වචන වලින් කිවහොත් මහ බැංකුව විසින් උද්ධමන බද්ධ ශුන්‍ය මට්ටමට අඩුකර තිබේ. මෙම කර්තව්‍ය ඉටු කිරීමේ ගෞරව සම්මානය මහ බැංකුවේ කළමනාකරණයට මෙන්ම රනිල් වික්‍රමසිංහගේ සහ අනුර කුමාර දිසානායකත් ආණ්ඩුවලටද යා යුත්තේ ඒවායින් මහ බැංකුවේ ස්වාධීනත්වය ආරක්ෂා කර ඇති නිසාය. කෙසේ වුවද මෙය අනාගතයේ සිදුවෙතැයි සහතික කොට කිව නොහැකිය. මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහබැංකුවේ ස්වාධීනත්වය ආරක්ෂාකොට සංරක්ෂණ කොට ප්‍රවර්ධනය කරන ලෙස අනාගත පරම්පරාවෙන් ඉල්ලා සිටියේ මේ නිසාය.

එම නිසා ස්වාධීන මහ බැංකුවක් අවශ්‍ය වනුයේ සියලු ශ්‍රී ලාංකිකයන් සඳහාය. එම ස්වාධීනත්වය ආරක්ෂා කිරීම ඔවුන්ගේ යුතුකමයි.

2025/ සැප්. 15 Dail FT හි පළවූ, Independent Central bank is for citigens and not for politicians ලිපියේ පරිවර්තනය.

සමන් පුෂ්ප ලියනගේ