දිනේෂ් සමරකෝන්
ප්‍රතිපූර්ණ යාන්ත්‍රණය නිසිලෙස ක්‍රියාකාරී වන තුරු සරල කරන ලද බදු ක්‍රමය (SVAT) අහෝසි කිරීම ප්‍රමාද කරන ලෙස ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය රජයෙන් ඉල්ලා සිටී.
සරල කරන ලද බදු ක්‍රමය (SVAT) අහෝසි කිරීම ලබන ඔක්තෝබර් 01 වැනිදා සිටි ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති අතර, ඒ අනුව එම සංසදය ඊයේ (25) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදාළ ඉල්ලීම් ඉදිරිපත් කළේය.
එමෙන්ම මෙම තීරණය ගැනීමට පෙර ඩිජිටල් කරණ ක්‍රියාවලිය ගෙන ඒමට කටයුතු කරන මෙන්ද ඔවුහු මෙහිදී ඉල්ලා සිටියහ.
මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වන දින සිට අපනයන කරුවන් විසින් ගෙවන ලද වැට් බදු ප්‍රතිපූර්ණය දින 45ක් තුළ හිමි විය යුතු වුවද, ඊට අදාළ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම පිළිබඳ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ලබා දුන් එකඟතාව ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන ආකාරය පිළිබඳ පෙරහුරුවක් සිදු නොකළ බැවින් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ දැඩි අවධානය ඊට යොමුව ඇති බවද ඔවුහු සඳහන් කළහ.
ජාතික අපනයන කරුවන්ගේ මණ්ඩලයේ මහලේකම් ෂිහාම් මරික්කාර් මෙසේ පැවසීය. මේක අපනයනකරුවන් දිරිගන්වන්න කරන ප්‍රතිපත්තියක් නෙවෙයි. මෙතනින් වෙන්නේ ඍණාත්මක බලපෑමක්. අපේ අපනයනකරුවන් අපනයනය කරන්නේ විශාල බරක් දරාගෙන. මේක තවත් දිරිගන්වන්න ඕන.
ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමයේ (SLAEA) සභාපතිනි රජිතා ජයසූරිය අදහස් දත්වමින් මෙසේ පැවසුවාය. ආණ්ඩුව කියනවා අපනයන ඉලක්කම වැඩි කරන්න ඕන කියලා. ඒත් අපේ විදුලි වියදම ඉහළය. ඇමරිකාවෙන් පනවපු තීරු බදු නිසා සියයට 20ක් තීරු බදු ගෙවන්න ඕන. ඒ වගේ දෙයක් වුණාම අපිට තිබෙන පීඩනය ඉතාමත් වැඩියි. ඒ වගේ තත්වයක් තුළ සියයට 18ක් බදු ගෙවන එක නෙවෙයි ප්‍රශ්නය. අපි කවදාවත් කිව්වේ නෑ බදු ගෙවන්න බෑ කියලා. නිවැරදි මුදල් ආපසු ගෙවීමේ පද්ධතියක් (Refund system) දෙන්න කියලයි අපි කියන්නේ. අපිට දැන් තිබෙන සිස්ටම් එක විශ්වාසයක් නෑ. ආණ්ඩුවෙන් ලැබෙන සහයෝගය මදි.
රජය අපනයන ගැන අවධානය යොමු කර තිබෙන නිසා තමන්ට සහයෝගයත් ලැබෙන බවත් SVAT සම්බන්ධයෙන් සහයෝගයක් නොලැබෙන බවත් ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ මහලේකම් ෂිහාම් මරික්කාර් මහතා පැවසීය.
තව ටික කාලයක් මේ ක්‍රියාවලිය කල් දැමිය යුතු බවත් අයි.එම්.එෆ්. එක ඉදිරිපත් කරඇති ඩිජිටල් ටැක්ස් කොන්දේසියෙන් ආණ්ඩුවේ ආදායම් වැඩි කරගත හැකි බවත් මරික්කාර් මහතා පැවසීය.
ශ්‍රී ලංකා රබර් නිෂ්පාදකයන්ගේ සහ අපනයනකරුවන්ගේ සංගමයේ (SLAMERP) සභාපති පුෂ්පික ජනධීර මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය. අපි කරන්නේ රජය දැනුවත් කිරීමක්. රජය පිළිගන්න ඕන මේ සම්බන්ධයෙන් විශේෂඥ දැනුම තියෙන්නේ අපේ අයට බව. මාසෙකින්, මාස 06කින්, අවුරුද්දකින් මොකක්ද වෙන්න පුළුවන් දේ කියලාඅපි දන්නවා. අපනයන දිරිමත් කිරීමක් අවශ්‍ය නම්, අපනයනකරුවන් හම්බකරන මුදල් ආයේ ව්‍යාපාර තුළට ආයෝජනය කරන්න අවශ්‍ය බව රජය තේරුම් ගන්න ඕන. ඒත් මේකෙන් වෙන්නේ හැම මාසෙම ඒ වැට් ප්‍රමාණය අරන් ඒක ආපසු ලබා දෙන්න බැරි වුණොත් බිස්නස් එක කරගෙන යන්න පුළුවන් මුදලක් ඉතිරි වෙන්නේ නෑ. සරලව කියනවා නම් බිස්නස් එක කරන් යන්න සල්ලි නැති වෙනවා. අපි කියන්නේ අර්බුදය පැන නගින්න කලින් නිසි ලෙස අධ්‍යයනයක් කරලා, ඩිජිටල් සිස්ටම් එකක් ගෙනත් මිනිස්සු මත යැපෙන්නේ නැති තත්වයක් ඇති කරන්න.