සංචාරක සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ජනාධිපති කාර්ය සාධක බලකායක්


නිමල කොඩිතුවක්කු


ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව, “නව්‍ය සංචාරක කර්මාන්තයක් ආකර්ෂණීය ගමනාන්තයක්” යටතේ පොහොසත් රටක් නිර්මාණය කිරීමේදී සංචාරක ව්‍යාපාරයේ සංවර්ධනය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම කෙරෙහි රජයේ ප්‍රමුඛ අවධානයක් යොමු වී ඇත.
එම කාර්යයන් වඩාත් ඵලදායීව හා කාර්යක්ෂමව ඉටු කිරීමට හැකි වන පරිදි ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටු වීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ.
ඒ අනුව, සංචාරක කර්මාන්තයේ කඩිනම් සංවර්ධන ඉලක්කයන් ළඟා කර ගැනීම සහ ඉහළ මට්ටමේ තිරසර වර්ධනයක් අත්කර ගැනීම සඳහා අවශ්‍ය මග පෙන්වීම හා ක්‍රියා මාර්ග ගැනීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් යුතුව අදාළ අමාත්‍යාංශ, ආයතන සහ සංචාරක ක්ෂේත්‍රයේ විවිධ අංශවල නියෝජනය ද සහිතව ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.