සංචාරක පැමිණීම් 16,50,000 පසුකරයි


  • අගෝස්තු පළමු දින 17දී සංචාරකයෝ  90,393ක්
  • මෙම මසදී ඉලක්කය සංචාරකයන් 185,043 ක්

විමුක්ති එස් රුද්‍රිගු


මෙම මස පළමු දින 17දී මෙරටට සංචාරකයන් 90,393 පැමිණ ඇති බවත් ඒ අනුව වසර ආරම්භයේ සිට මේ දක්වා මෙරටට සංචාරකයන් 1,656,916 ක් මෙරටට පැමිණ ඇති බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්වේ.
මෙරට සංචාරක කර්මාන්තය මෙම මසදී සංචාරකයන් 185,043 ක් මෙරටට ගෙන්වා ගැනීමට ඉලක්ක කර තිබූ අතර එම ඉලක්කය සපුරන්නේ නම් ඉතිරි දින 13 ක කාලයේදී තවත් සංචාරකයන් 94650 ක් මෙරටට පැමිණිය යුතුව තිබිණි. කෙසේ නමුත් මෙම වසරේදී සංචාරකයන් ලක්ෂ 30 ක් මෙරටට ගෙන්වා ගැනීමේ සහ ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ක සංචාරක ආදායමක් ඉපැයීමේ ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වනු ඇතැයි බලධාරීන් පසුගියදා ප්‍රකාශයට පත් කළ අතර ඔවුන් පවසා සිටියේ ඉලක්ක සපුරාගැනීමට නොහැකි වුවත් එම ඉලක්ක ඒ ආකාරයෙන්ම තබා ගන්නා බවයි.
මෙම මස පළමු දින 17දී මෙන්ම මෙම වසර ආරම්භයේ සිට මේ දක්වාද ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්ය. පළමු දින 17දී ඉන්දියාවෙන් මෙරටට සංචාරකයන් 25,668 ක් පැමිණ ඇත. ඒ අනුව මෙම වසරේ ආරම්භයේ සිට මේ දක්වා ඉන්දියාවෙන් මෙරටට පැමිණි සංචාරකයන් පිරිස 351,263 ක් විය.
මෙම වසර ආරම්භයේ සිට මේ දක්වා දෙවැනි ස්ථානයට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ එක්සත් රාජධානියෙන් වන අතර තෙවැනි ස්ථානයට වැඩිම සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ රුසියාවෙන්ය.