සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට ජනප්‍රිය ප්‍රංශ ක්‍රීඩා තරුවක් සමග සාකච්ඡා



භානුක අමරසිංහ


ශ්‍රී ලංකා-ප්‍රංශ ව්‍යාපාර කවුන්සිලයේ සභාපති ඔන්ද්‍රේ ප්‍රනාන්දු

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය සඳහා ලොව ජනප්‍රිය ප්‍රංශ ක්‍රීඩා චරිතයක සහාය ලබා ගැනීමට මේ වනවිට සාකච්ඡා කරමින් පවතින බව ශ්‍රී ලංකා-ප්‍රංශ ව්‍යාපාර කවුන්සිලයේ සභාපති ඔන්ද්‍රේ ප්‍රනාන්දු මහතා පවසයි. 

පසුගියදා පැවැත්වුණු එම කවුන්සිලයේ 21 වැනි වාර්ෂික මහා සභාව අමතමින් සභාපතිවරයා මෙම කරුණු අනාවරණය කර තිබේ. ඒ මහතා ඉදිරි වසර සඳහාත් එම කවුන්සිලයේ සභාපතිවරයා ලෙස තේරී පත්වීමෙන් අනතුරුව මෙම අදහස් දැක්වීම සිදු කර තිබේ.

“අපගේ කවුන්සිලය මගින් ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර සබදතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වඩාත් ක්‍රමෝපායික මාර්ග දෙකක් විදියට සංචාරක කර්මාන්තය සහ ආයෝජන හඳුනාගෙන තිබෙනවා. ඒ අතරින් සංචාරක කර්මාන්තය යටතේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා කවුරුත් දන්නා ප්‍රංශ ක්‍රීඩා චරිතයකගේ සහාය ලබා ගැනීමට මේ වනවිට සාකච්ඡා කරමින් පවතිනවා. ඒ හරහා ප්‍රංශ මාධ්‍ය වේදිකා සියල්ලගේම සහයෝගය ලබා ගැනීම අපේක්ෂාවයි.“ 

එසේම ආයෝජන අංශය ගත් විට, අද වනවිට ඉන්දියාව තුළ ක්‍රියාත්මකව පවතින ප්‍රංශය පාදක කරගත් ආයෝජන වෙත ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් පුළුල් කිරීම සඳහා පවතින අවස්ථා පිළිබඳව සොයා බැලීම පිළිබඳ වන සාකච්ඡාද මේ වනවිට සිය කවුන්සිලය මගින් සිදු කරමින් පවතින බවත් සභාපතිවරයා වැඩිදුරටත් අනාවරණය කර තිබේ.

“මෙම මුල පිරීම් සියල්ලක්ම පසුගිය වසරේදී සිදු කළ මූලික කටයුතුවල කොටස්. මේ හරහා මැදිකාලීනව සහ දිගුකාලීනව වඩාත් ධනාත්මක ප්‍රතිඵල සාක්ෂාත් කරගැනීම අරමුණයි.“ යනුවෙන්ද සභාපති ඔන්ද්‍රේ ප්‍රනාන්දු මහතා සඳහන් කර තිබේ.