සංචාරක කර්මාන්තයෙන් පළමු මාස 6දී ඩො.බි. 1.71ක්


 

  • පෙර වසරට සාපේක්ෂව සියයට 10 වර්ධනයක්
  • මෙම වසරේදී සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 5 ක් ඉපැයීමේ ඉලක්කයක්

විමුක්ති එස් රුද්‍රිගු


සංචාරක කර්මාන්තයෙන් ශ්‍රී ලංකාව මෙම වසරේ පළමු මාස 6දී ඇමෙරිකානු ඩොලර් බිලියන 1.71 ක මුදලක් උපයා ඇති බවත්, එය පෙර වසරට සාපේක්ෂව සියයට 10 වර්ධනයක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවල සඳහන් වේ.

පසුගිය වසරේ පළමු මාස 6 තුළ ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.55 ක මුදලක් උපයා තිබිණි. එසේම පසුගිය මාසයේදී සංචාරක කර්මාන්තයෙන් ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් මිලියන 169.5 ක් උපයා තිබූ අතර, එය 2024 වසරේ ජූනි මාසයේදී උපයා ගත් ඇමෙරිකානු ඩොලර් මිලියන 151.1 ට සාපේක්ෂව එය සියයට 12.1 වර්ධනයකි.

ශ්‍රී ලංකාව මෙම වසරේදී සංචාරක කර්මාන්තයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ක මුදලක් උපයා ගැනීමට සහ සංචාරකයන් ලක්ෂ 30 ක් ගෙන්වා ගැනීමට ඉලක්ක කර ඇති අතර, ඒ අනුව ආදායම් ඉලක්කය සපුරා ගැනීම සඳහා ඉදිරි මාස 6 දී තවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 3.29 ක් මුදල සංචාරක කර්මාන්තයෙන් උපයා ගත යුතුව ඇත.

එසේම මෙම වසරේ පළමු මාස 6 ශ්‍රී ලංකාවට සංචාරකයන් 1,168,044 ක පිරිසක් මෙරටට පැමිණ ඇති අතර එය 2024 පළමු මාස 6 දී මෙරටට පැමිණි සංචාරකයන් 1,010,249 සාපේක්ෂව සියයට 15.6 ක වර්ධනයකි.

පසුගිය වසරේදී ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 3.17 ක ආදායමක් උපයා ගෙන තිබූ අතර, එය 2023 වසරේ උපාය ගත් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.07 ක ආදායමට සාපේක්ෂව සියයට 53.2 ක වර්ධනයක් විය. 2024 වසරේදී මෙරටට සංචාරකයන් මිලියන 2.05 ක් මෙරටට පැමිණ තිබූ අතර, පසුගිය වසරේදී සංචාරකාන් මිලියන 2.3 ක් මෙරටට ගෙන්වා ගැනීමට ඉලක්ක කර තිබිණි.