ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉංජිනේරු ප්‍රදර්ශනය වන ‘EngEx 2025 සඳහා සියලු කටයුතු සූදානම්


ශ්‍රී ලංකාවේ ඉංජිනේරු අධ්‍යාපනයේ වසර 75 ක විශිෂ්ටත්වය සමඟ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු  පීඨයේ දියමන්ති ජුබිලිය සනිටුහන් කරමින්, 'EngEx 2025 Powered by SLT-MOBITEL' ඉංජිනේරු ප්‍රදර්ශනය 2025 සැප්තැම්බර් 23 වන දින සිට 27 වන දින දක්වා පේරාදෙණිය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතය. මෙම ප්‍රදර්ශනය පිළිබඳ වැඩි දුර තොරතුරු  දැන ගැනීමට අපි SLT-MOBITEL සමාගමේ සාමාන්‍යාධිකාරී (ප්‍රාදේශීය ව්‍යාපාර) ඉංජිනේරු සමන්ත ජයසිංහ සහ EngEx 2025 ප්‍රදර්ශන කමිටුවේ සභාපති/පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය සමිත් බුද්ධික යන මහත්වරුන් සමඟ සාකච්ඡා කළෙමු. 

මෙහිදී මුලින්ම අදහස් පලකළේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සමිත් බුද්ධික මහතාය.

සිසු සිසුවියන්, වෘත්තිකයින් ඇතුළු සමස්ත ප්‍රජාව මෙවර EngEx 2025 ප්‍රදර්ශනය නැරඹීමට පැමිණිය යුත්තේ ඇයි ? 

මීට පෙර EngEx ප්‍රදර්ශනයක් පැවැත්වුණේ 2010 වසරේ දීයි. මෙම වසර 15 තුළ අපගේ පර්යේෂණ සහ නවෝත්පාදන අංශය ඉතා දියුණු මට්ටමකට පත් වෙලා තිබෙනවා. ඒ නිසා ම වර්තමානයට සහ අනාගතයට සරිලන නවෝත්පාදන රැසක් මෙහි දී දැක බලා ගැනීමේ අවස්ථාව ලැබීම විශේෂත්වයක්. මේ වන විට පාසල් සිසු සිසුවියන් ඇතුළු 20,000කට අධික පිරිසක් මෙවර ප්‍රදර්ශනය නැරඹීමට ලියාපදිංචි වී තිබෙනවා. https://engex2025.pdn.ac.lk/ වෙබ් අඩවිය හරහා මෙවර ප්‍රදර්ශනය නැරඹීම සඳහා ලියාපදිංචි වීම ඇතුළු වැඩි විස්තර ලබා ගත හැකි බව මෙහි දී දැනුම් දීමට කැමතියි. පාසල් සිසු සිසුවියන් සහ තරුණ පරපුර වැඩි වශයෙන් මෙවර ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. 
සැප්තැම්බර් 23 වන දින ආරම්භ වීමට නියමිත මෙම ප්‍රදර්ශනය, ආරම්භක දිනයේ දී, දහවල් 12 ට ආරම්භ වන බවත්, අනෙකුත් සියලුම දිනවල, පෙ.ව. 10.00 සිට ප.ව. 7.00 දක්වා විවෘතව පවතින බවත් සඳහන් කළ යුතුමයි. මෙවර ප්‍රදර්ශනය නැරඹීම සඳහා සියලු දෙනාට අපි ඉතා සුහද සිතින් ආරාධනය කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා. ඒ වගේම ප්‍රදර්ශනය පැවැත්වෙන භූමියේ පිරිසිදු බව ආරක්ෂා කර ගැනීමට ඔබගේ උපරිම සහයෝගය ලබා දෙන ලෙස මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන සියලු දෙනාගෙන් මා ඉලා සිටිනවා.

පෙර වසරවලට සාපේක්ෂ ව මෙවර ප්‍රදර්ශනයේ ඇති සුවිශේෂත්වය කෙබඳු ද ?

'ජීවිතය සඳහා ඉංජිනේරු විද්‍යාව' යන තේමාව යටතේ ඉංජිනේරු විද්‍යාව අපගේ එදිනෙදා ජීවිතය පහසු කර ගැනීමට භාවිත කළ හැකි ආකාරය පිළිබඳ ඉතා හොඳ දැනුවත්භාවයක් මෙවර ප්‍රදර්ශනයේ දී අපි ලබා දීමට සූදානම්. ඇත්තටම මෙවර ප්‍රදර්ශනයේ දී කලාප සහ අනු තේමා කිහිපයක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ ම කෘත්‍රිම බුද්ධිය (AI) පදනම් වූ නවෝත්පාදන නිර්මාණ රාශියක් මෙවර ප්‍රදර්ශනයට අන්තර්ගත වී තිබෙනවා. විවිධත්වයෙන් යුත් ක්ෂේත්‍ර ගණනාවක් ආශ්‍රිත ව කෘත්‍රිම බුද්ධිය (AI) සාර්ථකව භාවිත කළ හැකි ආකාරය පිළිබඳවත් මෙවර ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන අයට දැක බලාගැනීමේ අවස්ථාව ලැබෙනවා.  ඒ වගේ ම නවීන හා පුරාණ තාක්ෂණික ක්‍රමවේද භාවිතයෙන් නිර්මාණය කළ නවෝත්පාදන රාශියක් මෙවර ප්‍රදර්ශනයේ දී නැරඹීමට අවස්ථාව ලබා දීමට අපි සූදානම්. 

SLT-MOBITEL වැනි  ප්‍රමුඛ පෙළේ සමාගමක් සමග සහයෝගිතාවක් ගොඩනඟා ගැනීම තුළින් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සහ නවෝත්පාදන ක්‍රියාවලිය ශක්තිමත් වන්නේ කොහොම ද?  

SLT-MOBITEL සමාගම සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය අතර ඇති මෙම සබඳතාව වසර ගණනාවක් පැරණියි. මෙම සබඳතාව අපගේ ඉංජිනේරු පීඨයේ පර්යේෂණ හා නවෝත්පාදන අංශය ශක්තිමත් කිරීම වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන බව පැවසිය යුතුමයි. EngEx ප්‍රදර්ශනය සඳහා SLT-MOBITEL ලබා දෙන සහයෝගය අපට විශාල ශක්තියක්. ඒ වගේම මෙම සහයෝගිතාව අපගේ සිසු සිසුවියන්ගේ වෘත්තීය ජීවිතය සාර්ථක කර ගැනීම සඳහාත් විශාල පන්නරයක් වන බව අවධාරණය කිරීමට කැමති යි.

මෙම ප්‍රදර්ශනය සම්බන්ධව අදහස් දැක්වීමට මීළඟට අප සම්බන්ධ කරගත්තේ SLT-MOBITELහි සාමාන්‍යාධිකාරී (ප්‍රාදේශීය ව්‍යාපාර) ඉංජිනේරු සමන්ත ජයසිංහ මහතාය.

‘EngEx 2025 ප්‍රදර්ශනයේ නිල සන්නිවේදන සහකරු ලෙස දායකවීමට SLT-MOBITEL අදහස් කළේ ඇයි? 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක ලෙස SLT-MOBITEL අපි, මේ වන විට ලෝකයේ භාවිත වන නවීනතම තාක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට නිරන්තරයෙන් කටයුතු කරනවා. එම නිසාම නිරන්තරයෙන් නවෝත්පාදන දිරි ගැන්වීමේ අරමුණින් අපි විශ්වවිද්‍යාල සමඟ ඉතා සමීපව කටයුතු කරනවා. ඒ වගේම අපට අවශ්‍ය පර්යේෂණ, නවෝත්පාදන සහ නිෂ්පාදන හඳුනා ගැනීමේ ප්‍රධානතම අවස්ථාවක් විදියට විශ්වවිද්‍යාල මඟින් සංවිධානය කෙරෙන මෙවැනි ප්‍රදර්ශන හඳුන්වා දීමට පුළුවන්. මෙවැනි ප්‍රදර්ශනවලට SLT-MOBITEL වැනි නවීන තාක්ෂණය සමඟ වැඩ කරන ආයතන එක්ව කටයුතු කිරීම ඉතා වැදගත්. මේ නිසාම EngEx 2025 ප්‍රදර්ශනයට සහයෝගය ලබා දීමට අමතරව අපගේ නවතම තාක්ෂණයත් එහි දී ජනතාව වෙත ප්‍රදර්ශනය කිරීමට අපි කටයුතු කරන බව පැවසිය යුතුමයි. 

රට තුළ නවෝත්පාදන සහ පර්යේෂණ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා උසස් අධ්‍යාපන  ආයතන සහ වෘත්තීය ක්ෂේත්‍ර අතර සහයෝගිතාව වැදගත් වන්නේ කොහොම ද ?  

ඉංජිනේරුවෙක් විදියට වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යාපනය හැදෑරූ සිසුවෙකු විදියට විශ්ව විද්‍යාල ආශ්‍රිතව විවිධ පර්යේෂණ රාශියක් සිදු කෙරෙන බවත්, අදාළ පර්යේෂණ අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් කොතරම් ප්‍රශස්ත වුවත්, ඒවා පර්යේෂණ පත්‍රිකාවට පමණක් සීමා වන බවත් මා ප්‍රායෝගිකව අත්දැක තිබෙනවා. මේ සඳහා උසස් අධ්‍යාපන ආයතන සහ වෘත්තීය  ක්ෂේත්‍ර ඉතා සමීපව කටයුතු කළ යුතු බව මා අවධාරණය කිරීමට කැමතියි. මේ සබඳතාව නිවැරදිව පවත්වා ගැනීම තුළින් රටක් විදියට ඉතා හොඳ වර්ධනයක් කරා ගමන් කිරීමට අපට හැකියාව ලැබෙන බව පැවසීමට කැමතියි. 

SLT-MOBITEL සතුව පවතින අති නවීන තාක්ෂණික ක්‍රමවේද විශ්වවිද්‍යාල සමඟ සහයෝගිතා ගොඩනඟනවා ගැනීම සඳහා නව අවස්ථා නිර්මාණය කර දෙන්නේ කොහොම ද?

නවීන තාක්ෂණය පිළිබඳව අවධානය යොමු කරන විට IoT වැනි සේවාවන් අනාගතයේ දී වඩාත් ප්‍රචලිත වනු ඇතැයි අපට අනුමාන කළ හැකියි.  ඒ වගේම  වර්තමානය වන විට 5G, AI සහ IoT වැනි නවීන තාක්ෂණික සේවා අපි  ආයතනික වශයෙන් භාවිත කරනවා. නමුත් විශ්වවිද්‍යාල සිසු සිසුවියන් මෙම සේවා න්‍යායාත්මකව හැදෑරීමක් සිදු කළත්, එම සේවාවන් ප්‍රායෝගිකව භාවිත කිරීමට ඔවුන්ට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඔවුන්ට මෙම නව තාක්ෂණික ක්‍රමවේද ප්‍රායෝගිකව භාවිත කිරීමේ අවස්ථාව සහ සහයෝගය ලබා දීමට SLT-MOBITEL සමාගමට හැකියාව තිබෙනවා. ඒ වගේම අපි දැනටත් එවැනි වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනවා. එය රටේ කර්මාන්ත ක්ෂේත්‍රයේ වර්ධනයට සිදු කරන හොඳ ආයෝජනයක් විදියට මම දකිනවා.

අනාගත අභියෝගවලට මුහුණ දිය හැකි ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැංවීම සම්බන්ධයෙන් SLT-MOBITEL සමාගමේ දැක්ම යථාර්ථයක් බවට පත් කිරීම සඳහා මෙම ප්‍රදර්ශනය වැදගත් වන්නේ කොහොම ද ?  

ඩිජිටල් ආර්ථිකයක් කරා ගමන් කිරීම විශාල ආර්ථික පෙරළියක්. එය රජයේත් ප්‍රධාන ඉලක්කයක් බවට පත් වී තිබෙනවා. මෙම ඉලක්කය සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ඩිජිටල් යටිතල පහසුකම් ගොඩනැංවිය හැකි ආයතන තිබෙන්නේ ඉතා සීමිත ප්‍රමාණයක්. ඒ අතරින් ප්‍රධානතම ආයතනයක් විදියට SLT-MOBITEL හඳුන්වා දීමට පුළුවන්. එහි දී රටේ සෑම පුද්ගලයෙකුට ම ඩිජිටල් සබඳතාවක් ලබා ගැනීමේ හැකියාව තිබීම ප්‍රධානයි. 

ආයතනයක් විදියට අපට මේ ඩිජිටල් සබඳතාව ලබා දීම පිළිබඳ ව විශාල වගකීමක් තිබෙනවා. අනෙකුත් සමස්ත ක්‍රියාවලියම  ක්‍රියාත්මක වන්නේ ඒ මතයි. ඒ වගේමයි මේ සඳහා අවශ්‍ය වන අනෙකුත් ඩිජිටල් සේවා බොහොමයක් SLT-MOBITEL ආයතනය නිර්මාණය කර තිබෙනවා. එම සේවා දැනටමත් ශ්‍රී ලාංකික ජනතාව භාවිත කරන බවත් පැවසිය යුතුමයි. ඊට අමතරව ඩිජිටල් ආර්ථිකයක් කරා ගමන් කිරීමේ දී ජනතාවගේ ඩිජිටල් සාක්ෂරතාව වර්ධනය කිරීමත් ඉතා වැදගත්. SLT-MOBITEL සමාගම ඒ වෙනුවෙනුත් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනවා. EngEx 2025 වැනි ප්‍රදර්ශනවලට සහයෝගය ලබා දීම තුළිනුත් අපි බලාපොරොත්තු වන්නේ මහජනතාවගේ ඩිජිටල් දැනුවත්භාවය වර්ධනය කිරීමයි.

ඒ  නිසාම මෙවර EngEx 2025 ප්‍රදර්ශනයේදී 4G ආවරණය, පුළුල් කළ LEARN ජාල ධාරිතාව සහ සියලුම කුටි සඳහා FTTH සේවාවන් ලබා දීම හරහා අපි එම පරිශ්‍රය තුළ සම්බන්ධතාව ශක්තිමත් කිරීමට කටයුතු කරනවා. ඒ වගේම එහිදී ස්ථාපනය කෙරෙන SLT-MOBITEL 5G කලාප හරහා අසම සම සම්බන්ධතා අත්දැකීමක් ලබා ගැනීමටත් එමඟින් නොමිලේ 5GB  දත්ත ලබා ගැනීමේ අවස්ථාව ලබා දීමත් විශේෂයි. මීට අමතරව, SLT-MOBITEL ප්‍රදර්ශන  කුටිය වෙත පැමිණෙන අමුත්තන්ට නවතම බ්‍රෝඩ්බෑන්ඩ් හා ඩිජිටල් සේවා සහ ව්‍යවසාය විසඳුම් අත්විඳීමේ හැකියාව ලබා දීමත් විශේෂත්වයක්.

ආචාර්ය සමිත් බුද්ධික මහතා, EngEx 2025 ප්‍රදර්ශන කමිටුවේ සභාපති, පේරාදෙණිය විශ්වවිද්‍යාලය


ඉංජිනේරු සමන්ත ජයසිංහ, සාමාන්‍යාධිකාරී (ප්‍රාදේශීය ව්‍යාපාර), SLT-MOBITEL සමාගම