වේගයෙන් පරිණාමය වන නූතන ලෝකයේ, ආර්ථික වර්ධනයේ සහ නවෝත්පාදනයේ මුල් ගල වන්නේ ඩිජිටල්කරණය යි. සබැඳුම් සහ සන්නිවේදනය ඉවැඩි කිරීමේ සිට නව ව්‍යාපාර ආකෘති සහ ව්‍යාපාර අවස්ථා විවර කිරීම දක්වා, ලොව පුරා කර්මාන්ත තුළ විප්ලවීයකරණයක් සිදු කිරීමට ඩිජිටල් පරිවර්තනය සමත් වේ. මෙම පරිවර්තනයේ හදවත වනුයේ 5G තාක්‍ෂණය යි. එය සම්බන්ධතාවේ සහ ආර්ථිකයේ සීමා මායිම් බිඳ හෙළමින් අනාගත යුගය වෙත ලෝකයා වේගයෙන් ගෙන යන පරිවර්තකයකු ලෙස ක්‍රියා කරයි.
ලොව පුරා බොහෝ රටවල් 5G තාක්‍ෂණයේ විභවය වැළඳ ගැනීමේ දී සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගනිමින් සිටින අතර, ශ්‍රී ලංකාව ද, ශක්තිමත් පදනමක පිහිටා සිටිමින් එය උද්‍යෝගිමත්ව අනුගමනය කරයි. ගෝලීය ඩිජිටල් ආර්ථිකය අඛණ්ඩව පරිණාමය වෙමින් පවතින බැවින්, වාණිජකරණය ඉදිරියට ගෙන යාම හරහා අනාගත වර්ධනය සඳහා ස්ථානගත වීමට 5G හරහා ශ්‍රී ලංකාවට මනා ඉඩ ප්‍රස්ථාවක් ලැබේ.
5G තාක්‍ෂණය සමග ඩිජිටල් පරිවර්තනය සහ නවෝත්පාදනය මෙහෙයවීම
5G තාක්‍ෂණය යනු වේගවත් ජංගම දුරකථන ජාලයකට වඩා වැඩි යමකි. එය විවිධ අංශ තුළ ඩිජිටල් පරිවර්තනයේ ප්‍රධාන සක්‍රීයකාරකයක් වන අතර, 4G ට වඩා වේගය, ප්‍රමාද කාලය (latency) සහ ධාරිතාව අතින් සැලකිය යුතු ලෙස වැඩිදියුණු වී තිබේ. එය න්‍යායාත්මකව, 5Gට වඩා සිය ගුණයකින් වැඩි වේගයන් සමගින්, අතිශය අඩු ප්‍රමාද කාලයකින් සක්‍රීය වේ. එබැවින් කර්මාන්ත ක්‍රියාත්මක වන ආකාරය විප්ලවීය ලෙස වෙනස් කරනු ඇත.
■ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ දී, 5G භාවිත කරමින් සිදු කෙරෙන දුරස්ථ සැත්කම් (remote surgeries), ටෙලි වෛද්‍ය සේවා සහ තථ්‍යකාලීන සෞඛ්‍ය නියමුකරණය (real-time health monitoring) සඳහා මනා පහසුකම් සැපයෙන බැවින්, විශේෂයෙන්, ග්‍රාමීය ප්‍රදේශවල සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය වැඩි දියුණු කරයි.
■ අධ්‍යාපනයේ දී, ඊ-ඉගෙනුම (e-learning), අතථ්‍ය පන්ති කාමර (virtual classrooms) සහ සහයෝගී අධ්‍යයනය (collaborative learning) සඳහා 5G සහාය ලැබෙනු ඇති අතර එමඟින් රට පුරා ගුණාත්මක අධ්‍යාපනයක් සඳහා ප්‍රවේශය ඇති වේ.
■ ශ්‍රී ලංකාවේ තීරණාත්මක අංශයක් වන කෘෂිකර්මාන්තයට යථාතථ්‍යය ගොවිතැන (precision farming), ස්වයංක්‍රීය වාරිමාර්ග පද්ධති (automated irrigation systems) සහ බෝග වර්ධනය නියමුකරණය සඳහා 5G වෙතින් ප්‍රයෝජන ලබා ගත හැකි අතර එය වඩාත් තිරසාර හා කාර්යක්ෂම කෘෂි-භාවිතයන්ට මග පාදයි.
තවද, 5G විසින්, ස්වයංක්‍රීය වාහන, බලශක්ති කාර්යක්ෂමතාවෙන් යුතු යටිතල පහසුකම් සහ වැඩිදියුණු කළ මහජන සේවා බලගන්වා සුහුරු-නගර (smart cities) සඳහා අඩිතාලම දමනු ඇත. ස්වයංක්‍රීයකරණය (automation), කෘත්‍රිම බුද්ධිය භාවිතය (AI) සහ යන්ත්‍ර අතර සන්නිවේදනය සඳහා 5G සහාය ලැබෙන බැවින් ඵලදායිතාව වැඩි දියුණු කිරීම සහ පිරිවැය අඩු කිරීමෙන් කර්මාන්ත අංශය ද සුවිශේෂී පරිවර්තනයක් අත්විඳිනු ඇත.
චීනය, දකුණු කොරියාව සහ ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල් දැනටමත් 5G තාක්‍ෂණ හැකියාවෙන් ප්‍රයෝජන ගෙන ඇති අතර, වැඩි දියුණු කළ නවෝත්පාදන, ඉවැඩි කළ ඵලදායිතාව සහ නව ව්‍යාපාරික අවස්ථා අත්කර ගෙන ඇත. එපමණක් නොව, ඉන්දියාව, වියට්නාමය, ඉතියෝපියාව සහ ඝානාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල් කිහිපයක් ද 5G තාක්ෂණය අනුගමනය කිරීම, දියුණු සබැඳුම් වෙත සංක්‍රාන්ති වීම ඉහළ කාර්මික රටවලට පමණක් සීමා නොවන බව පෙන්නුම් කරයි. ශ්‍රී ලංකාව සඳහා ද, යටිතල පහසුකම් නවීකරණය කිරීමට, ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ ආර්ථික වර්ධනයට මඟ පාදාගැනීමට 5G තාක්‍ෂණය හරහා අගනා අවස්ථාවක් ලැබෙනු ඇත.
ශ්‍රී ලංකාවේ වර්ධනය වන 5G තාක්ෂණයේ විභවය
ශ්‍රී ලංකාවේ 5G තාක්ෂණය කරා යන ගමන ක්‍රමානුකූලව සැලසුම් කර තිබේ. රට තුළ, 2020 දී සිදුකරන ලද පළමු සාර්ථක පරීක්ෂණ වලින් ආරම්භ වූ 5G අත්හදා බැලීම් මේ වන විට විශාල ප්‍රගතියක් ලබා ඇත. මෙම මුල් උත්සාහය හරහා දමන ලද ශක්තිමත් පදනම මත හා දැනට ලැබෙමින් පවතින අඛණ්ඩ අවධානය සහ ආයෝජන සමගින්, ශ්‍රී ලංකාව, 5G භාවිතය සඳහා මනාව ස්ථානගත වී ඇත. මෙමගින් කලාපීය මිතුරු රටවල් සමග ශ්‍රී ලංකාව එකට පෙළගස්වන අතර, වර්ධනය, නවෝත්පාදනය සහ ඩිජිටල් පරිවර්තනය සඳහා උද්‍යෝගිමත් ප්‍රස්ථා උදා කරනු ඇත.
තායිලන්තය, ඉන්දුනීසියාව සහ මාලදිවයින වැනි ආසියා-පැසිෆික් කලාපයේ රටවල් 5G තාක්ෂණය භාවිතයේ කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇති අතර, එමගින් ඔවුන්ගේ කර්මාන්ත හා ආර්ථිකයන්හි වර්ධනයට ඉවහල් වූ ආකර්ෂණීය ප්‍රතිඵල අත්කර ගෙන ඇත. මෙම ප්‍රගතිය ශ්‍රී ලංකාවට එහි උද්යෝගිමත් අවස්ථා පෙන්වා දෙන අතර, ඒ හා සමාන දියුණුවක් ඇති කරගැනීම සඳහා 5G තාක්ෂණයේ ඇදහිය නොහැකි විභවය පෙන්නුම් කරයි.
තායිලන්තය: තායිලන්තයේ 5G තාක්ෂණය දියත් කිරීමෙන් නිෂ්පාදන සහ සුහුරු-කෘෂිකර්මාන්තය (smart- agriculture) වැනි ප්‍රධාන අංශ ඉහළ නංවා ඇති අතර, ස්වයංක්‍රීයකරණය සහ තථ්‍යකාලීන දත්ත (Real-Time Data) හරහා කාර්යක්ෂමතාව වැඩි දියුණු කර ඇත. රජයේ සහයෝගය ෆින්ටෙක් (Fin Tech) සහ ඩිජිටල් ගෙවීම් (Digital Payments) උත්තේජනයට ද උපකාරී වී ඇති අතර, ඵලදායිතාව සහ නවෝත්පාදනයේ සමස්ත වර්ධනයට දායක වී ඇත. විවිධ අංශ වැඩිදියුණු කිරීමෙන් තායිලන්තයේ දළ දේශීය නිෂ්පාදිතයට (GDP) බිලියන ගණනක් එකතු කරනු ඇතැයි අපේක්ෂා කරන අතර, කලාපීය ඩිජිටල් ආර්ථිකයේ (Digital Economy) ප්‍රමුඛයකු ලෙස රට ස්ථානගත කිරීමට 5ඨ තාක්ෂණය හේතු වී තිබේ..
ඉන්දුනීසියාව: ඉන්දුනීසියාව එහි විශාල දූපත් සමූහය අතර සබැඳුම් වැඩිදියුණු කිරීම සඳහා 5G තාක්ෂණය භාවිත කර ඇති අතර එය නිෂ්පාදනය, සැපයුම් සහ සෞඛ්‍ය සේවා කෙරෙහි සැලකිය යුතු ලෙස බලපායි. 5G හි අඩු ප්‍රමාද කාලය, වේගවත් දත්ත හුවමාරුවකට ඉඩ සලසන අතර ව්‍යාපාර පිරිවැය අඩු කිරීමට සහ සේවා සැපයීම වැඩිදියුණු කිරීමට උපකාරී වේ. 2027 වන විට රට පුරා 5G තාක්ෂණය ව්‍යාප්ත කිරීමේ සැලසුම් සමගින්, ඉන්දුනීසියාව නව රැකියා දහස් ගණනක් නිර්මාණය කිරීමට සහ එහි ඩිජිටල් ආර්ථිකය තුළ වැඩි ආයෝජන ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමට සූදානමින් සිටී.
මාලදිවයින: මාලදිවයින සිය සංචාරක කර්මාන්තය සහ සුහුරු නගර ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම සඳහා 5G තාක්‍ෂණය උපයෝගී කර ගෙන ඇත. අධිවේගී අන්තර්ජාලය සංචාරක අත්දැකීම් වැඩිදියුණු කරමින් සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ දුරස්ථ සේවා සඳහා ඉඩ සලසා දී ඇති අතර, එමගින් සංචාරකයන්ට සහ රටවාසීන්ට අත්‍යවශ්‍ය සේවාව සමග සම්බන්ධ වීමට පහසුව සැලසේ. 5G තාක්‍ෂණය, මාලදිවයින නවීන තාක්‍ෂණයෙන් යුතු සංචාරක ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීමට උපකාරී වන අතර, සංචාරක සහ සෞඛ්‍ය සේවා යන අංශ දෙකම උසස් තත්වයට නංවාලයි.
5G තාක්ෂණය නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇතිවන බලපෑම
5G තාක්ෂණය, විශේෂයෙන් ඊ-රාජ්‍යය උපාය මාර්ග ඉහළ නැංවීම සහ ඩිජිටල් ආර්ථිකයේ වර්ධනය වේගවත් කිරීම හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් ඇති කෙරේ. නව අවස්ථා විවර කිරීම, සේවා විධිමත් කිරීම සහ විවිධ අංශ තුළ නවෝත්පාදන දිරිගැන්වීම, දීප්තිමත් ඩිජිටල් අනාගතයකට මග පාදනු ඇත.
ඊ-රාජ්‍යය (e – government): මහජන සේවාවල කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ ප්‍රවේශ්‍යතාව වැඩිදියුණු කිරීමට 5G තාක්‍ෂණය උපකාරී වනු ඇත. 5G තාක්‍ෂණයේ අතිශය වේගවත් සම්බන්ධතා, අඩු ප්‍රමාද කාලය සහ මිලියන ගණනක් උපාංග එකවර සක්‍රීය කිරීමේ හැකියාව මගින් මහජන සේවා පද්ධතිවලට තථ්‍යකාලීන ව ක්‍රියාත්මක වීමට, දුරස්ථව සේවා සැපයීමට සහ දත්ත වඩාත් ඵලදායී ලෙස ඒකාබද්ධ කිරීමට ඉඩ සලසයි. සේවා ඩිජිටල්කරණය කිරීම සඳහා රජය දක්වන අඛණ්ඩ උද්යෝගය සමඟ හඳුන්වා දෙන මාර්ගගත බදු ගොනු කිරීම, ඩිජිටල් සෞඛ්‍ය සේවා (digital healthcare) සහ ඊ-අධ්‍යාපනය (e-education) වැනි කටයුතු වඩාත් බාධාවකින් තොරව සිදුවනු ඇති අතර ප්‍රමාදය අඩු කර සේවා සැපයීම වැඩිදියුණු කරනු ඇත. ඊට අමතරව, 5G තාක්‍ෂණයෙන් මෙහෙයවනු ලබන තථ්‍යකාලීන දත්ත සැකසීම මහජන ආරක්ෂාව, ප්‍රවාහනය සහ නාගරික සැලසුම්කරණය වැනි ප්‍රධාන ක්ෂේත්‍රවල තීරණ ගැනීමේ හැකියාව වැඩි දියුණු කරනු ඇත.
ඩිජිටල් ආර්ථිකය: 5G තාක්ෂණය විසින් ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් ගෙවීම් සහ ෆින්ටෙක් වේගයෙන් ව්‍යාප්ත කිරීමට ඉඩ සලසා වේගවත් හා වඩාත් ආරක්ෂිත ජංගම ගෙවීම් සඳහා පහසුකම් සපයන අතර මූල්‍ය සේවා සඳහා ප්‍රවේශය වැඩි දියුණු කරයි. එහි දියුණු ජාල හැකියාවන් මූල්‍ය වේදිකාවලට වැඩි විශ්වාසනීයත්වයකින් ක්‍රියාත්මක වීමට, තථ්‍යකාලීන විශ්ලේෂණ වැනි සංකීර්ණ යෙදවුම් සඳහා සහාය වීමට සහ නවීන ඩිජිටල් මූල්‍ය සේවා සඳහා තීරකයක් වන සුමට පරිශීලක අත්දැකීම් ලබා දීමට ඉඩ සලසයි. ඩිජිටල් බැංකුකරණය (Digital banking) සහ අනෙකුත් ෆින්ටෙක් නවෝත්පාදන, ආයෝජන ආකර්ෂණය කර ගනිමින් සහ වඩාත් විස්තීර්ණ මූල්‍ය පරිසර පද්ධතියක් නිර්මාණය කරමින් වඩා ශක්තිමත් වනු ඇත,
මීට අමතරව, ගනුදෙනු විශ්වාසනීයත්වය වැඩිදියුණු කිරීම සහ සැපයුම් දාම විධිමත් කිරීම මගින් ඊ-වාණිජ්‍යයේ, විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SMEs), වර්ධනයට5G තාක්ෂණය හේතු වනු ඇත. වැඩිදියුණු කළ සබැඳුම් හැකියාව සංචාරක කර්මාන්තය, කෘෂිකර්මාන්තය සහ සැපයුම් වැනි කර්මාන්තවලට ද ඵලදායිතාව ඉහළ නැංවීම සහ ආර්ථික වර්ධනය උත්තේජනය කිරීම හරහා ප්‍රතිලාභ ලබා දෙනු ඇත,
තවද, සුහුරු ජාලක, ස්වයංක්‍රීය ගොවිතැන සහ සම්පත් දුරස්ථ නිරීක්ෂණය සක්‍රීය කිරීමෙන් 5G තාක්ෂණය පාරිසරික තිරසාරභාවයට දායක වනු ඇත. මෙම නවෝත්පාදන බලශක්ති භාවිතය ප්‍රශස්ත කිරීම, නාස්තිය අඩු කිරීම සහ වඩාත් තිරසාර භාවිතයන්ට සහාය වීම, ශ්‍රී ලංකාවේ පාරිසරික තිරසාරභාව ඉලක්ක සමඟ සමපාත වනු ඇත.
ශ්‍රී ලංකාව දැනටමත් විදේශ ආයෝජන සඳහා ප්‍රමුඛ ස්ථානයක් වන අතර, 5G තාක්‍ෂණය හඳුන්වාදීමත් සමඟ විශේෂයෙන් තාක්ෂණික අංශය සඳහා ආකර්ෂණය වැඩි දියුණු කරනු ඇත. උසස් ඩිජිටල් යටිතල පහසුකම්, නවෝත්පාදනය සඳහා සඵල පරිසරයක් නිර්මාණය කරනු ඇති අතර ඩිජිටල් ආර්ථිකයේ වර්ධනයට මඟ පෙන්වමින් ආකර්ෂණීය නව ප්‍රස්ථා සඳහා දොරටු විවර කරනු ඇත.
ඉදිරි මාවත: 5G -සූදානම් ජාතියක් ගොඩනැගීම
දකුණු ආසියාවේ ඩිජිටල් ප්‍රමුඛයකු ලෙස තම ස්ථානය තහවුරු කර ගැනීමට ලැබෙන මෙම අපූරු අවස්ථාව තුළ 5G තාක්‍ෂණය යුහුසුළුව ග්‍රහණය කිරීම හරහා ශ්‍රී ලංකාව කැපී පෙනෙන ඉදිරි පිම්මක් සඳහා සූදානම්ව සිටී. මෙම පරිවර්තනීය තාක්‍ෂණය, නවෝත්පාදන මෙහෙයවා, නව වර්ධන මාවත් විවෘත කර, ශ්‍රී ලංකාව ඩිජිටල් යුගයේ බලවතෙකු කිරීමට වේදිකාව සකසනු ඇත.
මෙම පරිවර්තනයේ සම්පූර්ණ විභවය මුදා හැරීම සඳහා සියලු අංශවල දැනටමත් පවතින ශක්තිමත් නායකත්වය, සහයෝගීතාව සහ උපායමාර්ගික ආයෝජන තවදුරටත් පෝෂණය කර ශක්තිමත් කළ හැකි අතර, අවසානයේ ජනතාවගේ සාර්ථකත්වයට මඟ පාදයි. 5G තාක්‍ෂණය යෙදවීම සඳහා සහාය දක්වන සහ ප්‍රයෝජනවත් පරිසරයක් පෝෂණය කිරීමේදී එහි වැදගත් කාර්යභාරය පිළිබඳව රජයට පැහැදිලි අවබෝධයක් ඇති බව පෙනේ. මෙම නව්‍ය තාක්‍ෂණයට සහාය වීම සඳහා ප්‍රතිපත්ති සහ යටිතල පහසුකම් පෙළගැස්වීම නොකඩවා කරගෙන යාමෙන්, ශ්‍රී ලංකාවට සාර්ථකත්වය සඳහා පදනමක් ගොඩනගා ගත හැකිය. මෙම ඉදිරි චින්තන ප්‍රවේශය නිසැකවම මෙම ඩිජිටල් පරිණාමය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීමට විදුලි සංදේශ සැපයුම්කරුවන් පොළඹවනු ඇත.
5G සඳහා වන තරගය තාක්ෂණය ගැන පමණක් නොවේ. එය නොකඩවා වර්ධනය වෙමින් පවතින ඩිජිටල් ලෝකයක ආර්ථික පැවැත්ම සඳහා තරග වැදීමකි. 5G තාක්‍ෂණය වැළඳ ගැනීමෙන්, ශ්‍රී ලංකාවට තම පූර්ණ ඩිජිටල් විභවය මුදා හැරිය හැකි වන අතර, ගෝලීය ඩිජිටල් ආර්ථිකයේ වර්ධනය සහ සාර්ථකත්වය තුළ ස්ථානගත වෙමින්, මනා සබැඳුම් සහිත දීප්තිමත් අනාගතයකට අවතීර්ණ වීමට මග පාදයි.
ආචාර්ය අමිල විතානාරච්චි මහතා කැලණිය විශ්ව විද්‍යාලයේ කාර්මික සහ කළමනාකරණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වශයෙන් සේවය කරයි. ඔහු ඕසේට්‍ර්ලියවේ NewCastle විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර ව්‍යාපාර පිළිබඳ ආචාර්ය උපාධිය (PhD) ලබාගෙන ඇති අතර, කැලණිය විශ්වවිද්‍යාලයෙන් කාර්මික කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය (Mphil) හිමි කරගෙන ඇත. තවද ඔහු ඕස්ට්‍රේලියාවේ Latrobe විශ්වවිද්‍යාලයෙන් මූල්‍ය විශ්ලේෂණය පිළිබඳ පශ්චාත් උපාධිය (Msc) හිමිකරගෙන ඇත.