ශ්‍රී ලංකා මුද්‍රණ ප්‍රදර්ශනය 2026 සහ ජාතික මුද්‍රණ විශිෂ්ටතා සම්මාන උළෙල 2026


මුද්‍රණ හා ඇසුරුම්කරණ කර්මාන්තයේ අනාගතය විදහා දක්වන ජාතික වේදිකාව


ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ විශාලතම මුද්‍රණ, ඇසුරුම්කරණ, ලේබල්කරණ, සංඥාකරණ (Signage) සහ ග්‍රැෆික් සන්නිවේදන ප්‍රදර්ශනය වන ශ්‍රී ලංකා ප්‍රින්ට් හා වෙළෙඳ ප්‍රදර්ශනය 2026 (Sri Lanka Print Expo 2026) 2026 ජූනි මස 19 සිට 21 දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) පැවැත්වීමට ශ්‍රී ලංකා මුද්‍රණ ශිල්පීන්ගේ සංගමය (SLAP) ගෞරවයෙන් යුතුව සංවිධානය කරයි.
මෙම ප්‍රදර්ශනයට සමගාමීව, ශ්‍රී ලංකා මුද්‍රණ කර්මාන්තයේ විශිෂ්ටත්වය, නව්‍යකරණය, ගුණාත්මකභාවය සහ වෘත්තීයමය ප්‍රමිති අගයමින් ශ්‍රී ලංකා ජාතික මුද්‍රණ විශිෂ්ටතා සම්මාන උළෙල 2026 ජූනි 20 වැනි දින කොළඹ Cinnamon Life හිදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ.
මෙවර ප්‍රදර්ශනයේ තේමාව වන්නේ “මුද්‍රණයේ අනාගතයක් සඳහා නව්‍යකරණය සහ තිරසාරත්වය මෙහෙයවීම” යන්නයි.
මෙම තේමාව මගින් මුද්‍රණ හා ඇසුරුම්කරණ කර්මාන්තය තුළ ලොව පුරා සිදුවන තාක්ෂණික පරිවර්තනය නිරූපණය කරයි. ස්වයංක්‍රීයකරණය (Automation), කෘත්‍රිම බුද්ධිය (AI), ඩිජිටල් මුද්‍රණ තාක්ෂණය, ස්මාර්ට් නිෂ්පාදන පද්ධති, තිරසාර ඇසුරුම්කරණය සහ චක්‍රීය ආර්ථික (Circular Economy) සංකල්ප අද කර්මාන්තයේ අනාගතය හැඩගස්වමින් සිටී.
ශ්‍රී ලංකා ප්‍රින්ට් එක්ස්පෝ 2026 ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව උසස් කර ඇති අතර, ලොව ප්‍රමුඛතම සහ දේශීය තාක්ෂණ සැපයුම්කරුවන් විසින් ඉදිරිපත් කරනු ලබන නවීනතම මුද්‍රණ හා ඇසුරුම්කරණ තාක්ෂණය මෙහිදී ප්‍රදර්ශනය කෙරේ.
ප්‍රදර්ශනයට පැමිණෙන අමුත්තන්ට සජීවී තාක්ෂණික ප්‍රදර්ශන, නව නිෂ්පාදන එළිදැක්වීම්, තාක්ෂණික දැනුම බෙදාහදා ගැනීමේ සැසි, සහ කර්මාන්තයේ විශේෂඥයන් හා සැපයුම්කරුවන් සමග ජාලගත වීමේ අවස්ථා ලබාගත හැකිය.
මෙම ප්‍රදර්ශනය මුද්‍රණ හා ඇසුරුම්කරණ ක්ෂේත්‍රයට පමණක් සීමා නොවේ. නිෂ්පාදන කර්මාන්ත, අපනයනකරුවන්, ඇඟලු‍ම් කර්මාන්තය, ඖෂධ නිෂ්පාදන ආයතන, FMCG සමාගම්, අධ්‍යාපන ආයතන, ව්‍යවසායකයන්, රාජ්‍ය ආයතන සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ටද මෙහිදී ඉදිරිපත් වන නව්‍ය හා තිරසාර විසඳුම්වලින් විශාල ප්‍රතිලාභ ලබාගත හැකිය.
2025 - 2030 කාලසීමාව සඳහා ශ්‍රී ලංකා මුද්‍රණ ශිල්පීන්ගේ සංගමය සකස් කර ඇති උපායමාර්ගික සැලැස්මට අනුව, ශ්‍රී ලංකාවේ සමස්ත මුද්‍රණ පරිසර පද්ධතිය ශක්තිමත් කිරීම අපගේ ප්‍රධාන අරමුණකි.
විශේෂයෙන්ම දිවයින පුරා ක්‍රියාත්මක වන ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ මුද්‍රණ ව්‍යවසායකයන් (MSME Printers) සවිබල ගැන්වීම සඳහා දිස්ත්‍රික් මට්ටමේ සම්මන්ත්‍රණ, තාක්ෂණික පුහුණු වැඩසටහන්, දැනුම බෙදාහදා ගැනීමේ වැඩසටහන් සහ කර්මාන්ත ජාලගත කිරීමේ අවස්ථා ක්‍රියාත්මක කිරීමට අපි කැපවී සිටිමු.
අපගේ අරමුණ වන්නේ MSME මුද්‍රණ ව්‍යවසායකයන්, විශාල කර්මාන්ත ආයතන, තාක්ෂණ සැපයුම්කරුවන්, අධ්‍යාපන ආයතන සහ ප්‍රතිපත්ති සම්පාදකයන් අතර සම්බන්ධතාව ශක්තිමත් කරමින් වඩාත් තරගකාරී සහ ගෝලීය වශයෙන් සම්බන්ධිත මුද්‍රණ කර්මාන්තයක් ගොඩනැගීමයි.
ශ්‍රී ලංකා ජාතික මුද්‍රණ විශිෂ්ටතා සම්මාන 2026 යටතේ Offset Printing, Digital Printing, Flexographic Printing, Gravure Printing, Screen Printing, Packaging, Labels, Innovation, Sustainability සහ විශේෂ කර්මාන්ත ජයග්‍රහණ ඇතුළු විවිධ අංශවල විශිෂ්ටතම නිර්මාණ සහ ජයග්‍රහණ ඇගයීමට ලක් කෙරේ.
මෙවර සම්මාන වැඩසටහන සඳහා වාර්තාගත සහභාගීත්වයක් ලැබී ඇති අතර, එය ශ්‍රී ලංකා මුද්‍රණ කර්මාන්තය ගුණාත්මකභාවය හා අඛණ්ඩ සංවර්ධනය කෙරෙහි දක්වන කැපවීම මනාව පෙන්නුම් කරයි. මෙම සම්මාන වැඩසටහන ලංකාවේ මුද්‍රණ ප්‍රමිති ජාත්‍යන්තර හොඳම භාවිත සමග සංසන්දනය කිරීමටත්, නව්‍යකරණය සහ ආයෝජන දිරිගැන්වීමටත් වැදගත් වේදිකාවක් සපයයි.
මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය සහභාගී වනු ඇත.
එසේම ඉන්දීය ප්‍රධාන මුද්‍රණ ශිල්පීන්ගේ සම්මේලනය (AIFMP) ඇතුළු ජාත්‍යන්තර මුද්‍රණ සංවිධානවල ප්‍රමුඛ නියෝජිතයන් සහ විදේශීය ආරාධිත අමුත්තන් පිළිගැනීමට ලැබීම අපට මහත් ගෞරවයකි. මෙම ජාතික කර්මාන්ත උත්සවයේ සාර්ථකත්වය සඳහා අපගේ වටිනා අනුග්‍රාහකයන් සහ හවුල්කරුවන් ලබාදෙන සහාය අගය කරමු.
ප්‍රධාන අනුග්‍රාහකයා Konica Minolta Business Solutions Asia (Pvt) Ltd, ප්ලැටිනම් අනුග්‍රාහකයන් KWO Printing Needs (Pvt) Ltd සහ  MK Masterworks,  රන් අනුග්‍රාහකයන් JDC Printing Technologies , Metropolitan සහ Gestetner of Ceylon PLC, මාධ්‍ය අනුග්‍රාහකයන් Wijeya Newspapers Ltd සහ Express Newspapers Ceylon (Pvt) Ltd ය.
ශ්‍රී ලංකා මුද්‍රණ ශිල්පීන්ගේ සංගමය වෙනුවෙන්, සියලු‍ කර්මාන්ත වෘත්තිකයන්, නිෂ්පාදකයන්, ව්‍යාපාර නායකයන්, සිසුන්, විද්වතුන්, ව්‍යවසායකයන් සහ මහජනතාවට ශ්‍රී ලංකා ප්‍රින්ට් එක්ස්පෝ 2026 වෙත පැමිණ මුද්‍රණය, ඇසුරුම්කරණය සහ කාර්මික නව්‍යකරණයේ අනාගතය සියැසින් දැකබලා ගන්නා ලෙස ආරාධනා කරමි.
“අපි එක්ව ශ්‍රී ලංකාව සඳහා වඩාත් බුද්ධිමත්, හරිත සහ ගෝලීය වශයෙන් තරගකාරී මුද්‍රණ කර්මාන්තයක් ගොඩනගමු.”