ශ්‍රී ලංකා ප්ලාස්ටික් සහ රබර් ආයතනයෙන් ගෝලීය කර්මාන්ත සහ කාර්මික නවෝත්පාදන සවිබලගැන්වීමට සුවිශේෂී අවස්ථා ද්විත්වයක්


මේ වසරේදී මෙරට කාර්මික ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් කිරීමට ඉවහල් වන සුවිශේෂී සන්ධිස්ථාන ද්විත්වයක් පිළිබඳ ශ්‍රී ලංකා ප්ලාස්ටික් සහ රබර් ආයතනය  (PRISL)  නිවේදනය කළේය. ඒ අනුව PRISL සම්මාන උළෙල සහ  COMPLAST-RUBEXPO-COMXPO 2025  ප්‍රදර්ශනය පැවැත්වීම සඳහා සියලු‍ම කටයුතු මේ වන විට සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් සහ රබර් කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉහළම පිළිගැනීමක් සහිත උත්සව අවස්ථාවක් වන 2025 PRISL  සම්මාන උළෙල 2025 නොවැම්බර් 25 වැනි දින බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. මෙම ඉහළ පෙළේ සම්මාන රාත්‍රියේදී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ අපනයනකරුවන්ගේ සිට අධ්‍යයන ආයතන සහ වෘත්තිකයන් දක්වා විවිධ පාර්ශ්වකරුවන් විසින් දක්වන ලද සුවිශේෂී දායකත්වය සහ නවෝත්පාදන අගයනු ලැබේ. ස්වාධීන සහ විශ්වසනීය විනිශ්චය මණ්ඩලයක් මෙහි සියලු‍ම විනිශ්චය කටයුතු සිදු කරන අතර මනා විනිවිදභාවයක් සහ ජාතික වටිනාකම් සහතික කරමින් ඉහළ පෙළේ ආයතන විසින් අනුමත කරනු ලැබේ. මෙම සම්මාන උළෙල ඔස්සේ අතීත ජයග්‍රහණ සඳහා ගෞරව කිරීම පමණක් නොව ශ්‍රී ලංකාවේ කාර්මික හා නිෂ්පාදන අංශවල අනාගතය සඳහා ද නව මිණුම් සලකුණු සකසයි. වසර 05ක විරාමයකින් පසු 2024 සඳහා  PRISL  සම්මාන උළෙලේ පූර්ව දැනුවත් කිරීම (පෙර සංස්කරණය) නවෝත්පාදන, තිරසාරභාවය සහ කාර්මික විශිෂ්ටත්වය ඉස්මතු කරමින් පසුගිය ජනවාරි මාසයේදී පැවැත්විණි.මෑත කාලීන ඉතිහාසය දක්වා පොලිමර් පාදක කරගත් කර්මාන්ත සඳහා ශ්‍රී ලංකාවේ එකම අධ්‍යාපන සහ පුහුණු සැපයුම්කරු ලෙස PRISL දශක 06කට අධික කාලයක් පොලිමර් තාක්‍ෂණය , ප්ලාස්ටික් සහ රබර් කර්මාන්ත සංවර්ධනය පිළිබඳ ජාතික අධිකාරිය වශයෙන් ඉහළ සේවයක් ඉටු කර තිබේ. වර්තමානයේ බිලියන ගණනක විදේශ ආදායමක් උපයන මෙම කර්මාන්තය කෙරෙහි PRISL සුවිසල් දායකත්වයක් පිරිනමා ඇත. 
මෙහිදී විවිධ කාණ්ඩ යටතේ සම්මාන රැසක් ප්‍රදානය කිරීමට අපේක්ෂා කෙරේ. එ අනුව ‘පොලිමර් තාක්ෂණ අධ්‍යයන අංශයේ විශිෂ්ටත්වය‘, ‘වසරේ විශිෂ්ටතම නව නිපැයුම‘(රන්, රිදී, ලෝකඩ සම්මාන ), ‘තිරසාරභාවය පිළිබඳ සම්මානය - පාරිසරික වගකීම (රන්, රිදී, ලෝකඩ සම්මාන), ‘මහා පරිමාණ ව්‍යාපාර අංශයේ වඩාත්ම කැපී පෙනෙන ව්‍යවසායකත්වය‘ (රන්, රිදී, ලෝකඩ) ,කුඩා හ මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයේ වඩාත්ම කැපී පෙනෙන ව්‍යවසායකත්වය‘ ආදී සම්මාන රැසක් මේ යටතේ පිරිනමයි. එමෙන්ම ප්ලාස්ටික්, රබර් සහ ප්‍රතිචක්‍රීකරණය පිළිබඳ සම්මාන (සම්මාන 9), ප්ලාස්ටික් සහ රබර් අංශයේ වසරේ හොඳම සේවා සපයන්නා , වසරේ ශ්‍රී ලාංකික සන්නාමය (කුඩා හා මධ්‍ය පරිමාණ අංශය); වසරේ වෘත්තිකයා (ක්‍රියාකරුගේ සිට ප්‍රධාන විධායක නිලධාරියා දක්වා සියලු‍ම මට්ටම් නියෝජනය කරමින්); වසරේ ව්‍යවසායකයා; සහ වසරේ කැපී පෙනෙන අපනයනකරු (රන්, රිදී, ලෝකඩ) ආදී සම්මාන ද මෙහිදී ප්‍රදානය කෙරේ.

මෙම සම්මාන පිළිබඳව අදහස් දක්වමින් PRISL සභාපති චමින්ද විද්‍යාරත්න මහතා මෙසේ සඳහන් කළේය. “මෙම ක්ෂේත්‍රයේ ප්‍රගතිය අගය කිරීම සඳහා  PRISL 2025  සම්මාන උළෙල කදිම වේදිකාවක්. නවෝත්පාදනය, තිරසාරභාවය සහ වෘත්තීය විශිෂ්ටත්වය හඳුනා ගනිමින්, නිර්භීත ලෙස සිතීමට, සදාචාරාත්මකව ක්‍රියා කිරීමට සහ ගෝලීය වශයෙන් තරඟ කිරීමට මේ හරහා අපි ශ්‍රී ලංකාවේ කාර්මික ප්‍රජාවට දිරිගැන්වීමට බලාපොරොත්තු වෙනවා. අපේ රට තරගකාරිත්වය සහ වර්ධනය පිළිබඳ නව යුගයක් වෙත ගමන් කරන විට අවශ්‍ය වන පරිවර්තනය සහ විශිෂ්ටත්වය මෙම සම්මාන මගින් අපි සමරනවා.”

ප්ලාස්ටික් සහ රබර් සඳහා වන ශ්‍රී ලංකාවේ විශාලතම කාර්මික වෙළෙඳ ප්‍රදර්ශනය වන COMPLAST-RUBEXPO-COMXPO2025 ප්‍රදර්ශනය 8 වැනි වරටත් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී 2025 අගෝස්තු 29 සිට 31 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ. මෙම ප්‍රදර්ශන ත්‍රිත්වයේ සජීවී අත්දැකීම සමඟ නිෂ්පාදන එළිදැක්වීම,අධ්‍යාපනික සංසද සහ B2B ජාලකරණය ඇතුළත් වේ. එමෙන්ම මේ ඔස්සේ ගෝලීය ප්‍රදර්ශකයන් දේශීය ගැනුම්කරුවන්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, සේවා සපයන්නන්, සිසුන් සහ ආයෝජකයන් ඒකරාශී කෙරේ. 

මෙම සුවිශේෂී අවස්ථා ද්විත්වය සමග කර්මාන්ත 300කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් කලාපීය සහ ගෝලීය කර්මාන්ත නායකන් 500කට අධික සංඛ්‍යාවක් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික්, රබර්, ඇසුරුම් සහ නිෂ්පාදන වටිනාකම් දාමයන් හරහා විශිෂ්ටත්වය පෝෂණය කිරීම, තිරසාරභාවය දිරිමත් කිරීම සහ ආර්ථික වර්ධනය දිරිගැන්වීම මෙම අවස්ථා ද්විත්වයේ ප්‍රධාන අරමුණයි.

ප්ලාස්ටික් සහ රබර් සැකසුම් යන්ත්‍රෝපකරණ, ස්වයංක්‍රීයකරණය සහ සුහුරු නිෂ්පාදනය, ඇසුරුම්කරණ නව නිපැයුම්, තිරසාර ද්‍රව්‍ය සහ ප්‍රතිචක්‍රීකරණ තාක්ෂණ, ඉංජිනේරු විසඳුම් සහ හරිත බලශක්තිය, FMCG ඇඟලු‍ම්, ප්‍රවාහන, කෘෂිකර්මාන්තය සහ ඉදිකිරීම් ආදි ක්ෂේත්‍ර ගණනාවක නව නිපැයුම්වල දියුණුව පිළිබඳ පූර්ණ අත්දැකීමක් මෙම ප්‍රදර්ශනයනය මඟින් ලබා ගත හැකිය. දින තුනක් පුරා පැවැත්වෙන මෙම ප්‍රදර්ශන අත්දැකීම විඳගැනීම සඳහා කර්මාන්තකරුවන්, අපනයනකරුවන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, එම විෂයන් හා සම්බන්ධ කථිකාචාර්යවරුන්, සිසුන් මෙන්ම වෘත්තිකයන් ඇතුළුව බොහෝ පිරිසක් පැමිණෙනු ඇතැයි PRISL අපේක්ෂා කරයි.