ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය: මහ බැංකුවෙන් සමීක්ෂණයක්


  • ජනතාව තුළ පවතින අවබෝධය පිළිබඳව විමසා බැලීමේ අරමුණයි

භානුක අමරසිංහ


ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය පිළිබඳව සමීක්ෂණයක් කිරීමට කටයුතු යොදන බව මහ බැංකුව පවසයි. එම යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින අවබෝධය පිළිබඳව විමසා බැලීමේ අරමුණින් මෙය සිදු කෙරේ. මෙම ක්‍රමය ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පතු රක්ෂණ සහ නිරාකරණ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන්නකි. ‍
තැන්පතු රක්ෂණය යනු මූල්‍ය ආයතන බිඳ වැටීම හේතුවෙන් තැන්පත්කරුවන්ට ඇති විය හැකි අලාභවලින් පූර්ණව හෝ අර්ධ වශයෙන් මූල්‍ය ආයතනවල තැන්පත්කරුවන් රැක ගැනීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන යාන්ත්‍රණයකි. ඒ අනුව, ආරක්ෂණ ජාල යාන්ත්‍රණයක් ලෙස තැන්පතු රක්ෂණය ක්‍රියා කරන බව මහ බැංකුව පවසයි. 
මෙහිදී අදාළ සමීක්ෂණය මහ බැංකුව වෙනුවෙන් M/S  Kantar Lanka  (පෞද්) සමාගම මගින් සිදු කරනු ලබන බවත්, එහිදී ගණන් කිරීමේ ක්‍රමවේදයකින් එය සිදු කරන බවත් පවසයි. සැප්තැම්බර් මාසයේ සිට නොවැම්බර් දක්වා සිදු කරන මෙම සමීක්ෂණයේදී ජනගහනයෙන් පුළුල් කොටසක් ආවරණය වන ආකාරයට සිදු කිරීමත් සැලසුමකි.