වෙළඳපොළ ස්ථාවරභාවයකට පත්වන ස්වභාවයක්


ලැයිස්තුගත සමාගම්වල කොටස් මිල දී ගැනීමේ දී ස්ථාවරභාවයක් දක්වන බවක් නිරීක්ෂණය කළ හැකි විය. ආර්ථික වර්ධනය සම්බන්ධ පවතින තත්වය හා භූ දේශපාලනික කටයුතුවලදී දක්වන නැමියාව කෙරෙහි ආයෝජන අංශ උනන්දුවක පසුවන බව පෙනේ. ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැසියට සහභාගීවීම හා ලෝකයේ රටවල් සමග පවත්වන සබඳතා තවදුරටත් වෙළෙඳපොළ වර්ධනය සඳහා පදනමක් විය හැකි ලකුණු දක්වයි. 
අද දිනයේ දී ද රක්ෂණ, ගෘහ උපකරණ හා සෞඛ්‍ය සැපයුම් අංශවලට අයත් සමාගම්වල කොටස් සඳහා ඉල්ලුමක් අපේක්ෂා කළ හැකිය. බැංකු හා මුල්‍ය අංශයේ කොටස් සඳහා සාමාන්‍ය ඉල්ලුමක් පවතී. 
ඊයේ (සැප්. 23) ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,282.84 ක් දක්වා ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 55.97 ක වර්ධනයකි. 
එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,073.14 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 16.01 ක ඉහළ යාමක් සේ  වාර්තා වේ. දෛනික පිරිවැටුම රු. බිලියන 6.56 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 38,125 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 224.7 ක් විය. සමාගම් 134 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 114 කි. දිනයේ ආරම්භයේ දී සැලකිය යුතු අධි ඉල්ලුමක් තිබුණ නමුත් පසුව යම් ස්ථාවර භාවයකට පැමිණ ගනුදෙනු හැසිරෙන ආාකරයක් නිරීක්ෂණය කළ හැකි විය. 
රම්බොඩ පොල්ස් කොටසකට රුපියලක්  බැගින් ලාභාංශ ප්‍රකාශයට පත් කර තිබේ. මර්කන්ටයිල් ඉන්වෙස්මන් ඇන්ඞ් ෆයිනෑන්ස් සිය කොටස් කුඩා වටිනාකම් සහිත කොටස්වලට වෙන් කිරීමක් යෝජනා කර තිබේ. එය සුළු ගනුදෙනුකරුවන්ට පහසු තත්වයකි. 
බ්‍රවුන් ඉන්වෙස්ට්මන් රු. මිලියන 434 ක්, එල්.ඕ.එල්.සී. රු. මිලියන 370 ක්, වැලිබල් වන් රු. මිලියන 319 ක්, සියෙරා කේබල්  රු. මිලියන 267 ක්,ඩිජිටල් මොබිලිටි  රු. මිලියන 259 ක්, කොමර්ෂල් බැංකුව රු. මිලියන 248 ක් ආදී වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය. 
 
නිරීක්ෂක