පසුගිය සතිය තුළ තවදුරටත් විදේශ ගනුදෙනුකරුවන්ගේ විකිණීමේ ප්‍රවණතාව පැවැතිණ. සතියේ අවසන් දින දෙක තුළ පමණක් රුපියල් මිලියන 290 ක ශුද්ධ අවාසියක් වාර්තා කළේය. කලින් සතියේ ද මිල දී ගැනීමේ උන්නදුවක් තිබුණේ නැත. සමාගම්වලින් ලබන ප්‍රතිලාභවලට අමතරව විනිමය අනුපාතිකය හේතු කරගෙන අත්පත් කරගන්නා වාසි කෙරෙහි විදේශ ගනුදෙනුකරුවන්ගේ අවධානය පවතින අතර, රුපියලේ අගය ස්ථාවරව පැවැතීම අවාසියක් සේ සලකන බව පෙනේ. කෙසේ වෙතත් අය වැය පූර්ව මිල දී ගැනීම් ඉදිරියේ දී අපේක්ෂා කළ හැකිය. එවැනි පසුබිමක් තුළ ලැයිස්තුගත සමාගම්වල කොටස් මිල දී ගැනීමේ උනන්දුව තව දුරටත් ඉහළ යන්නට ඉඩ තිබේ.
ඉකුත් සිකුරාදා (සැප්.26) ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 21.598.99 ක් දක්වා ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 77.93 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6.113.53 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 10.95 ක ඉහළ යාමක් සේ වාර්තා වේ. දෛනික පිරිවැටුම රුපියල් බිලියන 6.02 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 38.353 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 148.06 ක් විය. සමාගම් 149 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 98 කි. දිනයේ පෙරවරුවේ පැයක පමණ කාලයට පසු පසුබැසීමක් නිරීක්ෂණය කළ හැකි වූ නමුත්, දිනය අවසානයේ දී හොඳ ස්ථාවර භාවයකට පැමිණ ගනුදෙනු හැසිරෙන ආකාරයක් නිරීක්ෂණය කළ හැකි විය. අද දිනයේ දී ද තෝරාගත් සමාගම්වල කොටස් කෙරෙහි වැඩි අවධානයක් අපේක්ෂා කළ හැකිය.
කොටගල වැවිලි සමාගම කොටස් හිමියන් සඳහා මිල දී ගත හැකි වරණීය කොටස් නිකුතුවක් ප්‍රකාශයට පත් කරයි. රුපියල් නමයක් බැගින් මිල නියම කර තිබේ. බලශක්ති, පාරීභෝගික ද්‍රව්‍ය, සිල්ලර වෙළෙඳාම, මුල්‍ය, මෘදුකාංග සේවා හා ප්‍රවාහන වැනි උප අංශවල කොටස් හිමි ක්ෂේත්‍රවලට උනන්දුව අඩුවීමක් දැකගත හැකිවිය. මෙල්ස්ටාක්‍රොප් රුපියල් මිලියන 350ක්, කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 291 ක්, ජෝන් කීල්ස් හෝල්ඩිං රුපියල් මිලියන 241 ක්, වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය.
නිරීක්ෂක