- අප්‍රේල් මාසය අවසන් වනවිට සංචිතය ඩොලර් මිලියන 6,759 ක්
- මාර්තු මාසයට සාපේක්ෂව සියයට 3.8ක පහළ යෑමක්
ශ්‍රී ලංකා මහ බැංකුෙව් නිල සංචිතය සතු වත්කම් ප්‍රමාණය පසුගිය අප්‍රේල් මාසය අවසන් වනවිට එක්සත් ජනපද ඩොලර් මිලියන 6,759 ක් බව මහ බැංකුව පවසයි. මැයි 08 වැනිදා නිකුත් කෙරුණු මහ බැංකු සතිපතා ආර්ථික විවරණය තුළ මෙම කරුණු ඇතුළත්ව තිබේ.
එහිදී සංචිතයේ ඇති විදේශ මුදල් වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 6,505 ක්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංචික මට්ටම ඩොලර් මිලියන 4ක්, විශේෂ ගැණුම් හිමිකම් (SDR) වටිනාකම ඩොලර් මිලියන 32ක් සහ රන් සංචිතයේ වටිනාකම ඩොලර් මිලියන 219 ක් බවත් මහ බැංකුව සඳහන් කරයි.
වසර පහමාරකට පමණ පසුව ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 7 ඉක්මවමින් පසුගිය පෙබරවාරි මාසය අවසන් වන විට එය එක්සත් ජනපද ඩොලර් මිලියන 7,284 ක අගයකට පත්විය. කෙසේ වෙතත් 2026 මාර්තු මාසය අවසන් වනවිට මහ බැංකුවේ නිල සංචිතය සතු වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 7,019 ක් ලෙස සටහන් විය.
ඒ අනුව පිට පිට දෙවැනි මාසයටත් මහ බැංකු නිල සංචිත වත්කම් ප්‍රමාණය අඩු වෙමින් මෙලෙස යළිත් එක්සත් ජනපද ඩොලර් බිලියන 7 ට වඩා පහළ අගයකට පත්ව තිබේ. එහිදී මූලිකවම සංචාරක සහ අපනයන ආදායම් අඩුවීම මෙන්ම ආනයන වියදම් ඉහළ යෑම සටහන්ව තිබේ.
එසේම එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම දරුණු ලෙස අවප්‍රමාණයවීම වළක්වා ගැනීම සඳහා මහ බැංකුව වැඩි වශයෙන් සිය සංචිතයේ ඇති ඩොලර් අලෙවි කිරීමත් ඊට හේතු වෙයි.
මහ බැංකු වාර්තාවලට අනුව 2025 අප්‍රේල් මාසයේදී ඩොලර් මිලියන 214.5ක් ඔවුන් වෙළෙඳපොළෙන් මිලදී ගෙන ඇති අතර, අලෙවි කර ඇත්තේ ඩොලර් මිලියන 9 කි. කෙසේ වෙතත් මේ වසරේ අප්‍රේල් මාසයේදී ඩොලර්ම මිලියන 83ක් මිලදී ගනිද්දී, ඩොලර් මිලියන 95.9ක් අලෙවි කර තිබේ. එසේම මාර්තු මාසයේදී මහ බැංකුව අලෙවි කර ඇති ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන 71.5 කි. මාර්තුවේදී මහ බැංකුව ඩොලර් මිලියන 120.3ක් මිලදී ගෙන තිබේ.

